Share කරන්න

“ඉස්ලාම්” යන්නෙහි අර්ථය කුමක්ද?

“ඉස්ලාම්” යනු බහු අර්ථ පදයකි. එනම් “දෙවියන් වහන්සේට අවනත වීම” සහ “සාමය” යන්න අර්ථ දෙකම මෙයින් නිරූපණය වේ. ඉස්ලාමීය විද්වතුන් මෙය “දෙවියන් වහන්සේට අවනත වීම තුලින් සාමය ලබා ගැනීම” යනුවෙන් ද නිර්වචනය කල ඇත.

ඉස්ලාම් ආගම පිළිපදින මුස්ලිම් ජනයා වන්දනාමාන කරන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ පමණි. සහ අනුගමනය කරන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින්ම පත් කරණ ලද ඔහුගේ දූතයා වන මුහම්මද් නබි තුමාය. ඉස්ලාම්  ආගමට අනුව අල්ලාහ් දෙවියන් වහන්සේ හැර වෙන කිසිදු දෙවියෙක් නොමැති අතර මෙම  විශ්වය සහ විශ්වයේ ඇති සියලු දුෂ්ෂමාන සහ අදුශ්ශ්‍යමාන දේවල් මවන ලද්දේ එතුමා විසින්  වන අතර ඒ සියලු දේවල් පාලනය සහ පරිපෝෂණය කරන්නේද එතුමා විසින් පමණි. තවද මිහිතලයේ ඇති සියලු දේවල් මැව්වේ මිනිසා වෙනුවෙන් බවද අල්ලාහ් දෙවියන් වහන්සේ සඳහන් කරයි.

“නුඹලා වෙනුවෙන් මිහිතලය මත ඇති සියලු දේ මැව්වේ ඔහුමය(අල්ලාහ්) ඉන් පසුව අහස දෙසට යොමු වී ඒවා අහස් සතක් ලෙස නිර්මාණය කළේය. ඔහු (අල්ලාහ්) සියලු දෑ පිලිබඳ සර්වඥය.”  (අල් කුරාණය 2:29)

සියලු ජීවින් වර්ගයාම අල්ලාහ් ට පමණක් නමදුම් කළ යුතු අතර වෙන කිසිදු මැවීමකට වන්දනය නොකළ යුතුය යන්න ඉස්ලාම් ආගම විදහා දක්වනු ඇත.. මෙම නිසා ඉස්ලාම් ආගමේ ප්‍රධාන මුලාශ්‍ර වන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් පහළ කරන ලද ශුද්ධ වූ අල් කුරාණය සහ මුහම්මද් නබි තුමා ගේ දේශනා සහ ක්‍රියා පටිපාටීන් අඩංගු හදීස් ග්‍රන්ථ වේ. මෙහි භාෂාව අරාබි භාෂාව වේ. පාඨක ඔබගේ කියවීමේ පහසුව තකා අල් කුරාණය සහ හදීස් ග්‍රන්ථ පිළිබඳ වෙනම පොසට් එකක් අප පළ කර ඇති අතර ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා එම පොස්ට් එක කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

සැබවින්ම මම අල්ලාහ් වෙමි. මා හැර වෙනත් දෙවියෙකු නොමැත. එබැවින් නුඹ මා නමදිවු. මා මෙනෙහි කරනු පිණිස සලාතය ස්ථාපිත කරවූ. ( අල් කුරාණය 20:14)

අහෝ මුහම්මද්, සැබවින්ම නුඹ රසුල්වරුන් අතුරින් කෙනෙකි. තවද නුඹ සෘජු මාර්ගයක් මත සිටින්නෙහිය. මෙම අල් කුරාණය අති බලසම්පන්න කරුණාහරිතයානන්ගේ පහළ කිරීමකි. කවරකුගේ මුතුන්මිත්තන් අවවාද කරනු නොලැබුවේ ද එවන් වූ පිරිසට නුඹ අවවාද කරණු පිණිස මෙය පහළ කළේය. තවද ඔවුන් අනවධනීන්ය.(අල් කුරාණය 36:3-6)

අල්ලාහ් දෙවියන් වහන්සේ තම මැවීම් පිලිබඳ මෙසේ ප්‍රකාශ කර ඇත
          
අල්ලාහ් අහස්හි හා මිහිතලයේ (පූර්ව නිදසුනකින් තොරව) උත්පාදකයාය. ඔහු යමක් (නිර්මාණය කිරීමට) තීරණය කළ විට ඔහු එයට “වනු ” යැයි පැවසු වහාම එය සිදුවනු ඇත. ( අල් කුරාණය 2:117)

තවද අල්ලාහ් දෙවියන් වහන්සේ තමා මිනිසා මැවු ආකාරය පිලිබඳ මීට අවරුදු 1400 කට පෙරම අල් කුරාණයේ මෙසේ ප්‍රකාශ කර ඇත. 
     
 “තවද අපි මැටියෙන් යුතු සාරයෙන් මිනිසාව මැව්වෙමු.පසුව අපි ආරක්ෂක ස්ථානයෙහි (එනම් ගර්බාශයේ ) ශුක්‍ර ධාතුවක් ලෙස ඔහුව පත්   කළෙමු. පසුව අපි ශුක්‍ර ධාතුව (ඇලෙනසුළු ) ලේ කැටියක් බවට මවා පසුව ලේ කැටිය මස් කැබැල්ලක් බවට මවා පසුව මස් කැබැල්ල අස්ථි බවට   මවා පසුව අපි එම අස්ථි මාංශයෙන් පැලදුවෙමු. පසුව වෙනත් මැවුමක්  බවට අපි එය නිර්මාණය කළෙමු.”     (අල් කුරාණය 23:12-14)

තට්ටු කළ විට හඬ දෙන වියළි මැටියෙන් සැබවින්ම අපි මිනිසාව මැව්වෙමු (15:26)

ඉස්ලාමයේ ඉතිහාසය

ලොව බිහිවූ පළමු මිනිසා වන “ආදම්” සිට අවසානය දක්වා අල්ලාහ් දෙවියන් වහන්සේ මෙලොවට මිනිසාගේ යහපත උදෙසා කලින් කලට කාලෝචිත නීති රීති  සහ හයපත් ගුණ ඉගැන්වීම පිණිස දූතයෙක් ද මනුස්සයින් අතර තෝරා පත් කළා. එම පත් කළ  ගත්  දූතයාට ඉස්ලාම් ආගමේ “නබි තුමා”  යනුවෙන් හදුන්වනවා. එලෙස මෙලොවට මේ දක්වා නබිවරුන් එක් ලක්ෂ විසිහතර දහසක් පමණ පහල කර තිබෙනවා .මෙම නබිවරුන් අතුරින් තෝරාගත් 4 දෙනෙකුට පමණක් ශුද්ධ වූ පුස්තකයක් ද දායාද වුනා. මොවුන්ට “රසුල්” යනුවෙන් විශේෂිත නාමයක් යොදනවා. එම රසුල් වරුන් සහ ඔව්න්ට දායාද වූ ශුද්ධ වූ පුස්තකයන් මෙසේය.

තව්රාත් පුස්තකය – මුසා නබි තුමා (ක්‍රිස්තියානි ආගමේ මෙය හදුන්වන්නේ  “තෝරා” පුස්තකය – ” මෝසස්” ලෙසය.
සබුර් පුස්තකය – දාවූද් නබි තුමා ( ක්‍රිස්තියානි ආගමේ මෙම නබි තුමාව හදුන්වන්නේ ” ඩේවිඩ්” ලෙසය.
ඉන්ජීල් පුස්තකය – ඊසා නබි තුමා ( එනම් බයිබලය සහ ජේසු නබි ක්‍රිස්තුස් වහන්සේ වේ )
ෆුර්කාන් (අල්- කුර්ආන් පුස්තකය) – මුහම්මද් නබි තුමා 

“ඔවුන් (නබිවරුන් ) කවුරුන් ද යත් අල්ලාහ් (ඔවුනට) යහමග පෙන්වූයේය. එබැවින් ඔවුන්ගේ මග පෙන්වීම නුඹ පිලිපදිවු.(නබිවරය , ප්‍රතික්ෂේපකයින්ට ) නුඹ පවසවූ. “ඒ සඳහා කිසිදු වේතනයක් මම නුඹලාගෙන් නොයදිමි. මෙම අල් කුරාණය ලෝක වාසීන්ට උපදෙසක් මිස නැත.” ( අල් කුරාණය 6:90)

සෑම සමූහයකටම රසූල්වරයෙකු සිටියි. ( අල් කුරාණය 10:47)

ජනයිනි , සැබවින්ම රසුල්වරයා නුඹලාගේ පරමධිපතිගෙන් වූ සත්‍යය රැගෙන නුඹලා වෙත පැමිණ ඇත. එබැවින් නුඹලා විශ්වාස කරවූ. එය නුඹලාට යහපත් වනු ඇත. ( අල් කුරාණය 4:170)

අල් කුර්ආණය , ජනයාට මග පෙන්වීමක් වශයෙන් හා යහමගින් වූ ද (සත්‍ය හා අසත්‍ය අතරෙහි ) නිර්ණායකයෙන් වූ ද පැහැදිළි සංඥා වශයෙන් පහළ කරනු ලැබීය. ( අල් කුරාණය 2:185)

ශුභාරංචි පවසන්නන් වශයෙන් ද අවවාද කරන්නන් වශයෙන් ද (එම රසුල්වරුන්ව) අපි ඒවා ඇත්තෙමු. මන්දයත් එම රසුල්වරුන්ගෙන් පසු (එනම් ඔවුන්ගේ නික්ම වීමෙන් පසු) අල්ලාහ් ට විරුද්ධව ජනයින්ට (වාද කිරීමට) සාධකයක් නොවීම පිණිසය. අල්ලාහ් අති බලසම්පන්නය හා සර්ව ප්‍රඥාවන්ත විය.(අල් කුරාණය 4:165)

තවද නුඹලා යහමග ලබනු පිණිස අප සත්‍යය හා අසත්‍යය වෙන්කර පෙන්වන්නා වූ ධර්ම පුස්තකය (තව්රාතය) මූසාට ලබා දුන් අවස්ථාව නුඹලා සිහිපත් කරව්. ( අල් කුරාණය 2:53 )

 “මර්යම්ගේ පුත් ඊසාව , ඔහුට පෙර තිබු තව්රාතයෙන් වූ දෑ සත්‍යය කරවන්නක් ලෙස (ඔහුට පෙර වූ නබි වරුන් වන) ඔව්න්ගේ පියසටහන් ඔස්සේ අපි අනිපිළිවළින් යැව්වේමු. තවද යහමග හා ආලෝකය ඇත්තාවූ ඉන්ජීලය අපි ඔහුට දුන්නෙමු. තවද (ඉන්ජීලය) එයට පෙර තිබු තව්රාතයෙන් වූ දෑ සත්ත්‍යය කරවන්නක් ලෙසද භිය භක්තිකයින්ට මග පෙන්වීමක් ලෙසද උපදෙසක් ලෙසද වේ”.(අල් කුරාණය 5:46)

    “තවද නබිවරය (මුහම්මද්), අපි නුඹ වෙත අල් කුර්ආන් ධර්ම පුස්තකය , එයට පෙර තිබු ධර්ම පුස්තකයෙන් වූ දෑ සත්‍යය කරවන්නක් ලෙස ද එය කෙරෙහි වූ  නිර්ණායකයක් ලෙසද සත්‍යයෙන් යුතුව පහළ කළෙමු”.(අල් කුරාණය 5:48)

මේ තුළින් ගම්‍යය වන්නේ සියලු ආගමික සාස්තෘ වරුන් අතර යම් සම්බන්ධයක් ඇති අතර ඔව්න් ඔව්න් කිසිදාක මත බේද ඇති නොකර නමුත් ඔව්න් අනුගමනය කරන ජනයින් අනවශ්‍ය ලෙස භේද ඇති කරගනිමින් සිටීමට උත්සාහය දරන බවයි. එම නිසා අපද එම ආගමික ශාස්තෘ වරුන් සේ එක්ව ජීවත් විය යුතු ය.

මුහම්මද් නබි තුමා ගෙන් පසු මෙලොව අවසන් වනතුරු කිසිම නබි වරයෙක් මෙලොවට පහළ නොවනු ඇත. එක් නබි වරයෙක් පහල වූ පසු ඊලග නබි තුමා පහල වන තෙක් ඒ වනතුරු ජීවත් වන සියලු මනුස්ස වර්ගයාම අනුගමනය කල යුත්තේ එවකට පහළ වූ අවසන් නබි තුමාය. මුහම්මද් නබි තුමා අද වන විට පහළ වූ අවසන් නබි තුමා නිසා වර්තමානයේ සහ අනාගතයේ බිහිවන සියලු මිනිසුන් පිළිපැදිය යුත්තේ ඔහු සහ ඔහුට පහළ වූ ශුද්ද වූ අල් කුරාණය වේ. නබි වරුන් එකල සිට මෙකළ දක්වා වෙනස් වුවද දෙවියන් වහන්සේ එකම කෙනකි.එනම් අල්ලාහ් දෙවියන් වහන්සේ ය සහ එවකට සිට වර්තමානය දක්වා සිටි සහ  බිහිවන  සියලු ජීවින් වන්දනය කල යුත්තේ අල්ලාහ් පමණි යන්න ඉස්ලාම් විදහා දැක්වේ.

ඉස්ලාමයේ මූලික විශ්වාසය (කලීමා)

අර්ථය – “නැමදීමට සුදුස්සා අල්ලාහ් හැර වෙන කිසිවෙකු නොමැත. මුහම්මද් නබි තුමා (PBUH ) ඔහුගේ රසුල් වරයාය.”

ඉස්ලාමයේ මූලික පදනම විශ්වාසයයි. ඉස්ලාම් භක්තිකයින් තම තම සියලු වන්දනාමාන කරන්නේද අදුෂ්‍යමාන අල්ලාහ් දෙවියන් වහන්සේ කෙරිහි ඇති දැඩි විශ්වාසය නිසාය. යම් පුදගලයෙකු ඉස්ලාම් භක්තිකයෙක් වීමට නම් ඔහු විශ්වාස කල යුතු ප්‍රධානම විශ්වාසය නම් ඉහත අරාබි භාෂාවෙන් සඳහන් වූ කලීමාවය. මෙම වාක්‍යය ඉස්ලාමයේ සටන් පාඨය ලෙස හැදින්වුවත් එය නිවැරදිය. මෙම සටන් පාඨයට අරාබි භාෂාවෙන් කලීමා යනුවෙන් හදුන්වනවා. ඉහත සටන් පාඨය පිළි නොගන්නා කිසිදු කෙනෙකු ඉස්ලාම් බැතිමතෙකු ලෙස පිළිගනු නොලැබේ. මෙම වාක්‍ය තුළ මුස්ලිම් වරයෙකුට ඇති විශ්වාසය තවත් අනු කොටස් පහකට බෙදා හැර දක්වනවා. ඒවා නම්,

  • අල්ලාහ් දෙවියන් වහන්සේ විශ්වාස කිරීම
  • ඔහුගේ ( අල්ලාහ් දෙවියන් වහන්සේ ) සුර දුතයින් විශ්වාස කිරීම (මලාඉකාවරුන් නොහොත් angels )
  • ඔහුගේ ශුද්ධ වූ ග්‍රන්ථයන් විශ්වාස කිරීම ( කුරාණය, බයිබලය, තව්රාතය, සබුර් )
  • ඔහුගේ රසුල් වරුන් විශ්වාස කිරීම ( මුහම්මද් නබි (PBUH), ජේසු නබි තුමා (PBUH), මුසා නබි තුමා (PBUH) etc …)
  • ලෝක අවසන් දිනය සහ මරණින් පසු ස්වර්ගයේ හා අපාය ජීවිතය විශ්වාස කිරීම
  • කලා කද්ර් හෙවත් ඉරණම පිළිබඳ විශ්වාස කිරීම

ඉහත කරුණු 5 ම විශ්වාස කිරීම මුස්ලිම් වරයෙකු සතු වගකීමකි.

මුස්ලිම් වරයෙකුට අනිවාර්ය වන කරුණු

මුස්ලිම් වරයෙකුට තම ජීවිතයේ අනිවාර්ය වන කරුණු 5 ක් තිබේ. ඒවා නම්

  • කලීමාව පිළිගැනීම
  • සලාතය (නැමදුම )
  • zසකාතය (වාර්ෂික දන් දීම)
  • උපවාසය
  • හජ් වන්දනාව

5.1, කලීමාව

​ඉහත සඳහන් වූ කලීමාව විශ්වාස කිරීම මුස්ලිම් වරයෙකු සතු පරම වගකීමකි.

5.2, සලාතය (නැමදුම )

මුස්ලිම් වරයෙකු දිනකට අනිවාර්යෙන් පස් වේලක් සලාතය ඉටු කර යුතුය. මෙය නොකරන පුද්ගලයාට ඉස්ලාමයේ කිසිදු පංගුවක් නොමැත. මෙයට නියමිත වෙලාවක් සහ ක්‍රමවේදයක් ඇත. ඒ අනුව එය සිදු කල යුතුය. මෙය මග හැරීමට කිසිදු හේතු කාරණා ද ගෙන හැර දැක්විය නොහැක. යම් පුද්ගලයෙකු රෝගාතුරුව සිටින්නේ නම් එම නිසා ඔහුට සිට ගැනීමට නොහැකි නම් ඔහු සිතින් හෝ මෙම පස් වෙලේ සලාතය අනිවාර්යෙන් ඉටු කළ යුතුය.

5.3 , zසකාතය (වාර්ෂික දන් දීම)

යම් පුද්ගලයෙකුගේ වාර්ෂික ශුද්ධ ඉතුරුවෙන් හා ස්ථීර වත්කම් වල වටිනාකමෙන් ලැබෙන එකතුවෙන් 2.5% ක් තෝරා ගත් දුප්පතුන් කාණ්ඩ 7කට බෙදිය යුතුය. මෙය අනිවාර්ය කටයුත්තකි. මෙලෙස මෙය සෑම වර්ෂයකට සැරයක් සිදු කළ යුතුය. යම් පුද්ගලයෙකු මෙම දන් දීම නිසියාකාරව කර ගෙන යන්නේ නම් අල්ලාහ් දෙවියන් වහන්සේ ඔහුගේ වත්කමට වග කියනු බවද ඔහුගේ වෙළඳාමේ අභිවුර්ධියද වැඩි කරන ලෙස අල් කුරාණයේ සඳහන් කර ඇත. නමුත් යම් කෙනෙකු මෙය මග හරින්නේ නම් , නොසලකා හරින්නේ නම්, ඔහුගේ වත්කමට අල්ලාහ් දෙවියන් වහන්සේ වග නොකියන බවද, ඔහුගේ ව්‍යාපාරයෙන් ඔහුට අබිවුර්ධියක් නොලැබෙන බවත්, ඔහු මිය ගිය පසු ඔහුට අපාය (නිරය ) හිමි වන බවත් අල් කුරාණයේ සඳහන් කර ඇත. දුප්පතුන් සඳහා මෙය අනිවාර්ය නොවේ.

මෙහි වැඩි විස්තර අවශ්‍ය නම් පහත comment හි සඳහන් කරන්න

5.4, උපවාසය

ඉස්ලාමීය දින දර්ශණයට අනුව “රමළාන්” නම් මාසය ආරම්භයත් සමඟ මෙළොව සියලුම මුස්ලිම් වරුන් උපවාසය කිරීමට පටන් ගැනීම ඔබට දක්නට ලැබේ. මෙම රමළාන් මාසය පුරාවටම උපවාසය කිරීම මුස්ලිම් වරුන්ගේ ප්‍රධාන වගකීමකි. රමළාන් මාසය යනු ඉස්ලාමිය ඉතිහාසයේ වැදගත් සිදුවීම් බොහොමයක් සිදුවූ මාසයකි. එයින් වැදගත්ම සිද්ධිය වන්නේ ශුද්ධ වූ අල් කුරාණය පළමු වතාවට අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් මෙළොවට පහළ කළේද මෙම මාසයේ ය. සමහරක් කොන්දේසි(රෝගීන්, ගර්බනී මව්වරුන් හා කාන්තාවන්ගේ ඔසප් දින ) මත මෙම උපවාසය මග හැරීමට අවස්තාවක් ඇතත් පසු දිනක එනම් රමළාන් මාසයෙන් පසු කෙදිනක හෝ එම උපවාසය ඉටු කර නිම කල යුතුයි. වයස 10න් ඉහල සියළු මුස්ලිම් වරුන්ට මෙය අනිවාර්ය කටයුත්තක් වේ. මෙයද අතපසු කරන්නාට නිරය හිමි වන බව ඉස්ලාමය අනතුරු හඟවයි.

මෙම උපවාසය තුළින් මිනිසාට අධ්‍යාත්මික ගුණ පමණක් නොව , ශාරීරිකව , හා සාරධර්ම වර්ධනය කිරීමද ඉස්ලාමයේ බලාපොරොත්තුවයි. මේ පිළිබඳව වෙනම දීර්ඝ විස්තරයක් සහිත පොස්ට් අප වෙනම පළ කර ඇති අතර වැඩි විස්තර සඳහා “උපවාසය (නෝම්බි ඇල්ලීම) යන පොස්ට් එක කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. පොස්ට් එකට යාම සඳහා මෙය click කරන්න https://awabodaya.com/fasting/

5.5, හජ් වන්දනාව

ඉස්ලාමීය දින දර්ශණයට අනුව “දුල්-හජ්” නම් වූ මාසයේ පළමු දින දහය මෙම වන්දනාව සෞදි අරාබියේ පිහිටි මස්ජිදුල් හරම් නොහොත් අපි කව්රුත් දන්නා හදුනන පරිදි මක්කම නමැති ශුද්ධ වූ පල්ලියේ හා ඒ අවට පුජා භුමියේ මෙම වන්දනාව සිදු කරනු ලැබේ. සියලු ධනවතුන් සඳහා තම ජීවිතයේ එක් වතාවක් හෝ මෙම වන්දනය සඳහා සහබාගි වීම අනිවාර්ය කටයුත්තකි. මේ පිළිබඳව වෙනම දීර්ඝ විස්තරයක් සහිත පොස්ට් අප වෙනම පළ කර ඇති අතර වැඩි විස්තර සඳහා “මක්කම, මදීනාව සහ ජෙරුසලම” යන පොස්ට් එක හරහා විස්තර කර ඇති අතර වැඩි විස්තර සඳහා කියවන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු. පොස්ට් එකට යාම සඳහා මෙය click කරන්න https://awabodaya.com/makkahmadina/

75% LikesVS
25% Dislikes

Share කරන්න