Share කරන්න

ජිහාද් යනු ත‍්‍රස්තවාදයද ? නැත. 

ජිහාද් යන අරාබි වචනයේ භාෂාමය අර්ථය ප‍්‍රයත්නය, වෑයම, ආයාසය, උත්සාහය යන පදයන්ගෙන් එක්තරා ප‍්‍රමාණයකට හුවා දැක්විය හැකිය. ඉස්ලාමීය ව්‍යවහාරයේ ජිහාද් යනු හුදෙක් ප‍්‍රයත්නය යන අර්ථය පමණක් ගෙන දෙන්නක් නොවේ. එය යහ විපාක අපේක්ෂාවෙන් දෙවිඳුන්ගේ (අල්ලාහ්ගේ) තෘප්තිය උදෙසා කරන්නා වූ නැමදුමක් ද වෙයි. මේ අනුව අල්ලාහ්ගේ තෘප්තිය උදෙසා කරන්නා වූ සියලු යහ ප‍්‍රයත්නයන් ජිහාද් යනුවෙන් විග‍්‍රහ කිරීම නිවැරදිය. තවත් අතකින් පීඩාකාරී, හිංසාකාරී හා දුෂ්කරත්වය මැද දහමේ නියමයන්ට පටහැණි නොවී යුක්තිය ස්ථාපිත කිරීම සදහා කරන්නා වූ ප‍්‍රයත්නය ජිහාදය ලෙස විග‍්‍රහ කළ හැක. ජිහාදයේ අනු ප‍්‍රභේද කිහිපයක් ඉස්ලාමීය විද්වතුන් විසින් විස්තර කොට ඇතත් බහුතරයේ මතය අනුව එහි ප‍්‍රභේද පහක් ලෙස පහතින් දක්වා ඇත. 


1. මනසින් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)

2. දිව (වචනය) උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්) 

3. පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්)

4. දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්)

5. අසිපත (ආයුධ උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්) 

මේවා හැරෙන්නට විවිධ ඉස්ලාම් විරෝධී පාර්ශවයන් විසින් ඔවුන්ගේ මනඃකල්පිත මතවාදයන් ඉදිරිපත් කරමින් “මනෝමය ජිහාදයක්” පිළිබඳව අදහස් දක්වති. එය ඔවුන්ගේ හුදු මනඃකල්පිතයක් පමණක් මිස අන් කිසිවක් නොවන බව අවධාරණයෙන් පවසන්නට කැමැත්තෙමු.  ඉහත සඳහන් ජිහාද් ප‍්‍රභේදයන් පිළිබඳව විස්තර විමසා බලමු.

1. චෛතසිකයෙන් කරන්නා වූ ජිහාදය (ජිහාද් බින් නෆ්ස්/ඛල්බ්)

ඉස්ලාමීය ඉගැන්වීම් අනුව විවිධ අවස්ථාවන්හි දී ශ්‍රේෂ්ඨතම ජිහාදය (ජිහාද් අල් අක්බර්) කුමක් ද කියා පැහැදිලි කොට ඇත. වරෙක ශ්‍රේෂ්ඨතම ජිහාදය තම චෛතසිකයේ මතුවන අකුසලයට නැඹුරු වූ හැගීම් සමග මානසිකව අරගලයක යෙදීම බව ඉස්ලාමය උගන්වයි (මුස්නද් අහ්මද් 24004. මෙම ක‍්‍රියාවලිය මගින් කෙනෙකුගේ මනස පාරිශුද්ධත්වයට පත්කොට අභ්‍යන්තර සාමය ළගාකර ගනිමින් කෝපය හා වෛරය පිටුදකින තත්ත්වයක් උදා කරගැනීමට හැකි වන්නේය. මිනිසාගේ ශ්‍රේෂ්ඨ පැවැත්ම හා සාරධර්ම සපිරි යහ ජීවිතය සහතික කළ හැක්කේ චිත්ත පාරිශුද්ධිය මගිනි. මෙම ‘ජිහාද්’ ප‍්‍රභේදය සහමුලින්ම තම චෛතසිකය සමග කරන්නා වූ සටනකි, අරගලයකි. ඉස්ලාමයට අනුව සැබෑ සොල්දාදුවා තම චෛතසිකය සමග සටන් කරන්නාය.

2. දිව (වචනය) උපයෝගි කරගෙන කරන්නා වූ ජිහාදය. (ජිහාද් බිල් ලිසාන්) 

සමාජයේ සිදු වන වැරදි, අපයෝජන හා දුෂණයන්ට එරෙහිව නැගී සිටීම, සත්‍යය අන් අයට පැහැදිලි කර දීමට හා යහමගට ජනයාව ආරාධනා කරන්නට කරන්නා වූ දේශන, සාකච්ඡා, සංවාද ආදිය මෙයට අන්තර්ගත වේ. අසාධාරණ දුෂ්ට පාලකයෙකු ඉදිරියේ නිර්භයව සත්‍යය ප‍්‍රකාශ කර සිටීම ශ්‍රේෂ්ඨ ජිහාදයක් බව ඉස්ලාමය අපට උගන්වයි. (මූලාශ‍්‍රය : නසඊ 4209)

3. පෑන/දැනුම උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් ඛලම්/ඉල්ම්) 

 ලොවෙහි සිදුවන අයුක්තියට හා අසාධාරණයට එරෙහිව කටයුතු කිරීම, ඉස්ලාමයට එරෙහිව මතු කරන්නා වූ චෝදනා හා වැරදි මතයන් හෝ දුර්මතයන් පිළිබඳව යහ හා නිවැරදි අයුරින් කරුණු පහදා දීම උදෙසා කරන්නා වූ විද්වත් ගවේෂණයන්  මෙයට ඇතුළත්ය.

  4. දෑත උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිල් යද්) 

මෙම ප‍්‍රභේදය භෞතික ක‍්‍රියාකාරකම් සමග පදනම් වූ ප‍්‍රයත්නයකි (ජිහාදයකි). අසරණයින්ට හා දුගීන්ට පිහිට වීම, ඩෙංගු වැනි වසංගත රෝග මැඩලීම සඳහා හා ජනයාට ප‍්‍රයෝජනවත් අන් ශ‍්‍රමදාන කටයුතු, ‘සකාත්’ නම් වූ දුගීන්ට පිරිනැමිය යුතු අනිවාර්ය දන්දීම හා ‘සදකා’ නම් වූ වෛකල්පීය දන්දීම්, ‘හජ්’ හා ‘උම්රා’ නම් වූ ආගමික වතාවත් ඉටු කිරීම මෙයට ඇතුළත්ය. වරෙක යුද තත්ත්වයක් ඇති වූ අවස්ථාවක මුහම්මද් තුමාණන්ගේ සහගාමියෙකු පැමිණ තමන්ගේ දෙමව්පියන් වයෝවෘධ තත්ත්වයේ සිටින හෙයින් යුද බිමට යෑම හා දෙමාපියන් බලාගැනීම අතුරින් ඔහු විසින් තෝරා ගත යුත්තේ කුමක්දැ’යි විමසූ විට දෙමාපියන්ට රැකබලාගැනීම ඔවුන්ගේ විෂයයෙහි ජිහාද් කරන ලෙස දන්වා සිටින ලදී. (මූලාශ‍්‍රය : බුහාරී 3004)

5. අසිපත (ආයුධ උපයෝගී කරගෙන කරන්නා වූ ජිහාදය (ජිහාද් බිස් සෙයිෆ්)

සාමය, යුක්තිය හා සාධාරණය වෙනුවෙන් අසිපතින් ජිහාදයක (ප‍්‍රයත්නයක) නියැලීමට සමහර අවස්ථාවන්හි අවශ්‍ය වේ. අසිපතින් ජිහාදයක නියැලීමට හැක්කේ අවස්ථාවන් දෙකක පමණය. මෙම අවස්ථාවන් දෙකෙහි දී සටනට පිවිසීම අල් කුර්ආන් ඉගැන්වීම් අනුව අනිවාර්ය කොට තිබේ. එනම් :

5.1. සුරක්ෂාවරණ ජිහාදය

ඔබගේ රටට එරෙහිව පහර දුනහොත් ඉස්ලාමය හා ආත්මාරක්ෂාව පදනම් කරගෙන සටනට පිවිසීම. මෙය පුද්ගල හෝ කණ්ඩායම් ගැසී පදනම් විරහිත ලෙස ගන්නා තීන්දුවක් මත සිදු නොවන්නකි. රාජ්‍ය හෝ වගකීම් සහිත ජනතා නායකත්වය හා මග පෙන්වීමක් මත මෙය සිදුවිය යුතුය. මෙය ‘සුරක්ෂාවරණ ජිහාදය’ ලෙස හැඳින් වේ. මෙම ජිහාද් පිළිවෙත පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරයි. කුරිරු කොටි සංවිධානයට එරහිව අප ශ්‍රී ලාංකීය යුද හමුදාව රටේ සාමය සහ සංහිදියාව වෙනුවෙන් කල ඒ මහා යුද්ධය මෙයට හොදම නිදසුනකි. 

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප‍්‍රිය නොකරයි.” (අල් කුර්ආන් 2:190)

5.2. ආක‍්‍රමණික ජිහාදය

ලොවෙහි සිදුවන අපරාධ, අවනීතිය, දුෂ්ටකම්, ත‍්‍රස්තවාදය, ආදියට එරෙහිව ඉස්ලාමිය රාජ්‍යයක් විසින් ගන්නා වූ යුධමය පියවරක් ලෙස දෙවන අවස්ථාව නම් කළ හැක. දුෂ්ටකම් හා අසාධාරණය සිදුවන බව පෙනි පෙනී නිහඬ වීමට ඉස්ලාමිය රජයකට අනුමැතිය නොමැත. ස්ත‍්‍රී බලහත්කාරකම්, ළමා අපයෝජන, මත්කුඩු හා මත්ද්‍රව්‍ය, සොරකම, ත‍්‍රස්තවාදය, අසාධාරණ පහර දීම් වැනි දෑ පැතිරෙමින් තිබෙන තත්ත්වයක නිහඬ විය හැක්කේ කිනම් රජයකට ද? ස්වභාවික නීතිය උල්ලංඝනය නොකොට මේවාට එරෙහිව කටයුතු කිරීම අපගේ වගකීමයි. සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට සාමය, යුක්තිය හා සාධාරණය ස්ථාපිත කරන තුරු ජිහාදයේ නියැලීම ඉස්ලාමීය රජයකට අනිවාර්ය වන්නේය. මෙය “ආක‍්‍රමණික ජිහාදය” ලෙස හැඳින් වේ. මෙම ජිහාද් පිළිවෙත පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරයි.

“අපගේ පරමාධිපතියාණනී, අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව! ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත් කරනු මැනව! තවද ඔබගෙන් වූ උදවුකරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ!”යි පවසා සිටින දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූ පුරුෂයින්, ස්ත‍්‍රීන් හා ළමුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද (නිහඬව) සිටීමට නුඹලාට කුමක් වී ද?” (අල් කුර්ආන් 4:75)

මේ අනුව ජිහාද් යනු :  

1. තම මනසේ ඇතිවන වැරදි හා අකුසලයට නැඹුරු වූ සිතුවිලි සමග සටන් කොට චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීම.

2. ලොවෙහි සිදුවන අපරාධ, දුෂ්ටකම් වලට එරෙහිව හඬ නැගීම, ලිවීමෙන් ප‍්‍රයත්න දැරීම.

3. ශරීරය යහපත් ක‍්‍රියා සඳහා උපයෝගී කිරීම හා දෙවිඳුන් විසින් ලබා දී ඇති වරප‍්‍රසාදයන් හා සම්පත් යහ ක‍්‍රියාවන් සඳහා වැය කිරීම. 

4. රාජ්‍යයකට පහර දුන්විට එම රාජ්‍යය ආරක්ෂා කිරීම හා සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට ලොවෙහි සාමය ස්ථාපිත කිරීම වේ.

“දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව නිකරුණේ මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එළෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මුළු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.”(අල් කුරාණය 5:32) 

  • පළමුවන ලෝක යුද්ධය ආරම්භ කළේ මුස්ලිම් වරයෙකුද ? 
  • ඔස්ට්‍රේලියාවේ අබෝරිග්නිනෙස් නම් ප්‍රදේශයේ මිළියන 20ක මනුස්ස ඝාතනය කළේ මුස්ලිම් වරයෙකුද? 
  • දෙවන ලෝක යුද්ධය ආරම්භ කළේ මුස්ලිම් වරයෙකුද? නොවේ.
  • Holocaust හිදී මිලියන 6ක මිනිසුන් ඝාතනය කළේ මුස්ලිම් වරයෙකුද? 
  • ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි යන ප්‍රදේශයන් වලට පරමාණුක බෝම්බ එල්ල කරේ මුස්ලිම් වරයෙකුද? 
  • උතුරු ඇමරිකාවේ ඉන්දියානුවන් මිලියන 100ක් ඝාතනය කළේ මුස්ලිම් වරයෙකුද? 
  • දකුණු ඇමරිකාවේ ඉන්දියානුවන් මිලියන 50ක් ඝාතනය කළේ මුස්ලිම් වරයෙකුද? 
  • අප්‍රිකානු සරනාඝතයින් මිලියන 180ක් ගෙන එයින් 88%ක් පමණ සාගරයට විසි කළේ මුස්ලිම් වරයෙකුද ? 

ඉහත සඳහන් කිසිවක් මුස්ලිම් වරයෙකු විසින් කළ ඒවා නොවේ. ලෝකයා හදුන්වන පරිදි ISIS සහ “අල් කයිඩා ” යන ත්‍රස්ත සංවිධානයන් මුස්ලිම් වරුන් නම් බෝම්බ, වෙඩි තැබීම්, යුද්ධයන් නිතර විය යුත්තේ ඉස්ලාම් නොවන රටවල් තුලය. එම සංවිධාන ක්‍රියාත්මක විය යුත්තේ මුස්ලිම් නොවන අනෙක් රටවල් වලය. මේවා මුස්ලිම් සංවිධාන නම් මිනිස් ඝාතන, අමු අමුවේ කුඩා දරුවන් පවා දිනෙන් දින ඝාතනය වන්නේ සිරියාවේ, ඇෆ්ගනිස්තානය, වැනි මුස්ලිම් රටවල විය හැක්කේ කෙසේද? 

LTTE කොටි සංවිධානයේ නායකයා ප්‍රබාකරන් කළ අපරාධයවෙනුවෙන් දමිළ ආගමට චෝදනා එල්ල කිරීම වැරදිය.එසේම මියන්මාරයේ බෞද්ධයින් විසින් මුස්ලිම් වරුන් අමු අමුවේ ඝාතයනට කිසි සේක්ම බෞද්ධාගමට චෝදනා එල්ල කිරීම වැරදිය. හිට්ලර් කළ අපරාදයට කිතුතු ආගමට චෝදනා කිරීම වැරදිය.පාස්කු ප්‍රහාරයේ සහරාන් ඇතුළු පිරිස කල ඒ සාහසික ඝාතනයට ඉස්ලාම් ආගමට චෝදනා එල්ල කිරීම වැරදිය.

කිසිදු ආගමක් මනුස්සයෙක් තව මනුස්සයෙකුට සිතකින් හෝ හිරිහැරයක් කිරීමට අනුබල නොදෙන්නේය. එනම් මෙහි සත්‍ය ඇතුලාන්තය නම් ලොව බලවත් රටවල් විසින් තම ආදිපත්තිය සහ අවි ආයුධ අලෙවිය පිණිස නොයෙකුත් කුට උපක්‍රමයන් විශේෂයෙන්ම ජාති බේද , කුල බේද යොදා ගනිමිනි ක්‍රියාත්මක කරන අතර අනෙකුත් අතට තම පතිවත රැක ගැනීමටද දරන උත්සාහයකි. ශ්‍රී ලංකාවේ පවා සිදුවූ ඒ දරුණු LTTE ත්‍රස්තවාදය පරාජයටද ඇමරිකාවේ අප්‍රසාදය මෙයට හොඳ නිදසුනකි. 

එසේ නම් ‘ජිහාදය’ පදනම් කරගෙන ‘මුස්ලිම් භීතිකාවක්’ හා ‘මුස්ලිම් පිළිකුලක්’ ඇති කිරීමට වෙර දැරීම අර්ථ ශුන්‍ය පදනම් විරහිත ප‍්‍රයත්නයක් පමණක් බව සනාථ වෙනවා නොවේද? 

මෙහි වැඩි විස්තර සඳහා ” ජිහාදය සහ ත්‍රස්තවාදය 2 වන කොටස හා “පාස්කු ප්‍රහාරය සහ ඉස්ලාමය යන පරිච්චේදයන් වෙත යොමු වෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු විවේචන ඇත්නම් අප වෙත යොමු කරන ලෙස ඉතා කාරුණිකව ඉල්ලා සිටින්නෙමු.

උපුටා ගැනීම – ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වත් මණ්ඩලය වන “ජමියතුල් උලමා” විසින් නිෂ්පාදිත “සිංහල කුරාණය” mobile app (https://play.google.com/store/apps/details?id=com.acju.sinhalaquran&hl=en_US&gl=US)

100% LikesVS
0% Dislikes

Share කරන්න