Share කරන්න

photo credit for featured image –https://youmatter.world/en/happiness-everyday-happy-4-ways-28181/

තම ජීවිතයට සාර්ථක කර ගැනීම පිණිස මිනිසා මුදල් හම්බකිරීම සඳහා දරන්නේ පුදුම උත්සාහයක්. සමහරක් විට තම පවල් ජීවිතය පවා අමතක කරමින් දිවා රාත්‍රී වෙහෙසමින් මෙම මුදල් හම්බකරනවා. නොයෙකුත් ආකාරයෙන් රැකියාවන්, ආයෝජනයන්,හා ව්‍යාපාර තුළින් තමන්ගේ ජීවිතයට අභිවෘධිය වැඩි කරගැනීමට වෙර දරනවා. නමුත් තමන් දරන්නා මෙම උත්සාහයන් තුළින් විටෙක උපරිම ලෙස ප්‍රතිපල භුක්ති විඳිනවා. විටෙක ඒවා අසාර්ථක වෙනවා. විටෙක ප්‍රතිපළ ලැබුවද දැරූ උත්සාහය තරම් ම ප්‍රමාණවත් නොවන අවස්ථා තිබෙනවා.

නමුත් අවාසනාවකට බොහෝ අය සිතන්නේ සතුට සෞභාග්‍යය තිබෙන්නේ මුදල් තුළ පමණක් බවය. මුදල් යනු ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍යය එක් සාදකයක් පමණි. සමාජය අපිට දැකිය හැකි සමහර ධනවත් පවුල් අවරුදු ගානක් ගත වුවද ඔවුනට දරු පළ නැත. සමහරක් විට ඔබ ධනවත් වුවද ඔබට අසාමාන්‍යය ලෙස ලෙඩ රෝග , නිදන්ගත ලෙඩ රෝග නිසා ඔබ ජීවිතාන්තය තුරාවටම දුක් විඳිනු ඇත. ධනවත් එක් නගරයක් හෝ රටක් හෝ වේවා කාලාන්තරයක් තිස්සේ වැස්ස නොවැසුනේ නම් ගම්මුන් සියල්ලන්ගේම මුදල් එකතු කර වුවද වැස්ස මිළට ගත නොහැක. ඔබගේ ආදරණීය දරුවා කොරෝනා රෝගයට බිළි වී මිය ගිය හොත් ඔබට ඔහුගේ ප්‍රාණය නැවත මුදල් ගෙවා ගත හැකි ද?. මෙවන් මුදලට ගත නොහැකි අපගේ ජීවිතයට වටිනා සම්පත් පිළිබඳව උදාහරණ රැසක් දිය හැක. එම නිසා සතුට සෞභාග්‍යය යනු මුදල්ම පමණක් නොවන බව අප මතක තබා ගත යුතුය.

අභිවෘධිය වැඩි කිරීම පිණිස මිනිසා විසින් කරන්නා වූ හා දන්නා වූ එකම ක්‍රමය රැකියාව හෝ ව්‍යාපාරය වුවද ශුද්ධ වූ අල් කුර්ආණය තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ අපට එම ක්‍රමයට වඩා තවත් ක්‍රම 6ක් ම උගන්වනවා. ඒවා කුමක්දැයි අප එකින් එකට බලමු.

1.අල්ලාහ් කෙරෙහි භිය බැතිමත්කමෙන් ජීවත් වීම.


තම ජීවිතයේ සතුටු අවස්තාවකදී වුවද දුක්බර අවස්තාවකදී වුවද අල්ලාහ් දෙවියන් නිතර නිතර සිහිපත් කරගනිමින් පාප ක්‍රියාවන් වලින් වැළකී සිටීම තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ ඔහු/ඇයට අභිවෘධිය ගෙන දෙන බව අල් කුර්ආණය තුළින් අපට මග පෙන්වා දී ඇත. වැඩි වැඩියෙන් උපවාසය කිරීම, වන්දනය කිරීම වැනි පුණ්‍යය කර්මයන් තුළින් තම ජීවිතයට අභිවෘධිය වැඩි කර ගත හැකි බව අල්ලාහ් දෙවියන් වහන්සේ පෙන්වා දී ඇත.

“ගම්වැසියන් විශ්වාස කොට බිය භක්තිමත් වුයේ නම් අහසින් හා මිහිතලයෙන් වූ අභිවෘධින් (හි දොරටු) අප ඔවුනට විවෘත කර දී ඇත්තෙමු.” (අල් කුරාණය 7:96)

කවරෙකු අල්ලාහ්ට බිය වී සිටින්නේ ද ඔහුව අල්ලාහ් අපහසු අවස්තාවන් වලින් මිදෙන්න සලස්වයි. තවද ඔහු බලාපොරොත්තු නොවූ අයුරින් ඔහුට ජීවන අවශ්‍යතා සපයයි. ( අල් කුරාණය 65:2-3)

විශ්වාසවන්තයිනි! ඔබලා අල්ලාහ්ට බියවන්නේ නම් සත්‍ය අසත්‍ය වෙන්කරන ශක්තිය අල්ලාහ් ඔබලාට ලබාදෙන්නේය. ඔබලාගේ පව් ඉවත්කර , ඔබලාට සමාව දෙන්නේය. තවද අල්ලාහ් අතිමහත් කරුණාව ඇත්තෙකි ( අල් කුරාණය 8: 29)

2.අල්ලාහ් වෙත තම අවශ්‍යතාවයන් ඉල්ලා ආයාචනා කිරීම (උදව් පැතීම)

තම ජීවිතයේ දායාදයන් වැඩි කරගැනීමට තවත් එක් උපක්‍රමයක් ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත ආයාචනය කිරීම හදුන්වා දී ඇත. තමන්ට යම් දෙයක් අවශ්‍ය සෑම විටම අල්ලාහ් දෙවියන් වහන්සේ වෙත ඉල්ලා සිටිනු ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේ විසින්ම ශුද්ධ වූ අල් කුරානයේ ප්‍රකාශ කර ඇත. මෙවන් ආයාචනා අල්ලාහ් දෙවියන් වහන්සේ නිතරම සිය කැමැත්ත දක්වයි. පුද්ගලයෙකු යම් දෙයක් අල්ලාහ් දෙවියන් වහන්සේ ගෙන් ඉල්ලු විට එය කිසි විටක අල්ලාහ් දෙවියන් ප්‍රතික්ෂේප කරන්නේ නැත.

කවරෙකු තම කාර්යයන් අල්ලාහ් වෙත පවරයිද , ඔහුට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය. ( අල් කුරාණය 65 :3)

ඔබ යම් කාර්යයක් ඉටු කිරීමට තීරණය කළද ,එය අල්ලාහ් වෙතම පවරන්න. ( අල් කුරාණය 3: 159)

මරණයට පත් නොවන ජීවමානයා වන අල්ලාහ් වෙත ඔබගේ කටයුතු භාර කරන්න. ( අල් කුරාණය 25 58)

විශ්වාසිකයින් අල්ලාහ් වෙතම සියල්ල භාර කරති ( අල් කුරාණය 14: 11)

ඉස්ලාමයට අනුව යම් පුද්ගලයෙකුට දායාදයන් හිමි වීම අහිමි වීම තීරණය වන්නේ අල්ලාහ් ගේ අභිමතය පරිදිය. සමාජයේ සමහර ධනවතුන් විසින් “මෙම වස්තුන් සම්බාරය මට ලැබුනේ මගේ දක්ෂතාවය නිසාය කියා උඩඟු කමකින් කියනු දක්නට ලැබේ. නමුත් ඉස්ලාමය එම දක්ෂතාවයද ඔහුට හිමි වී තිබෙන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේගේ වරප්‍රසාදයක් අනුවය. අල්ලාහ් දෙවියන් වහන්සේ අභිමත නොකළේ නම් එම පුද්ගලයා කෙතරම් උත්සාහයන් හා උපක්‍රමයන් යෙදුවද ධනය උපයා ගැනීමට නොහැකිය.

සැබවින්ම අපි නුඹලාව මිහිතලයෙහි (අධිකරය දී) ස්‌ථාපිත කෙළෙමු. තවද අපි නුඹලාට එහි ජීවනෝපායන් සලසා දුන්නෙමු. එහෙත් නුඹලා කෘතවේදී වනුයේ අල්ප ප්‍රමාණයකි.( අල් කුරාණය 7:10)

නුඹලාට ජීවනෝපාය සඳහා අල්ලාහ් දායාද කළ නුඹලාගේ වස්තුන් නුඹලා යටතේ සිටින්නවුන්ට ලබා නොදෙවූ. නමුත් ඒවායෙන් නුඹලා ඔවුනට ආහාර පාන සපයවු.තවද ඔවුනට වස්ත්‍ර සපයවු. තවද ඔවුනට යහ වදනින් කතා කරවු.(4:5)

“නුඹලාගේ ජලය සිඳී ගියේ නම් එවිට උණන ජලය නුඹලා වෙත ගෙන එනුයේ කවරෙකු ද යන්න නුඹලා සිතා (නො)බැලුවෙහු දැ?” යි පවසවූ. ( අල් කුරාණය 67:30)

නමුත් ඔහු තම ජීවන සම්පත් (මිනිසාට) අත්හිට වුයේ නම් නුඹලාට ජීවනෝපාය සපයන්නේ කවරෙකු ද? නමුත් උඩඟුකමෙහි ද (සත්‍යයෙන් ) දුරස්ව යෑමෙහි ද ඔවුහු නියැළී සිටින්නෝය. ( අල් කුරාණය 67:21)

සමාජයේ අපට බොහොමයක් දක්නට හැකි දෙයක් තමයි එනම් සමහර පුද්ගලයින් ආයෝජනය කල විගසින් ඔවුනට එහි ප්‍රතිලාබ හිමි වුවද තවත් සමහරක් පිරිස් කෙතරම් උත්සහ කළද එහි ප්‍රථිපල ශුන්‍ය හෝ අල්ප වශයෙන් ලැබෙනු ඇත. එම නිසා අපට ජීවිතයේ කුමක් ලැබුවද එයට අල්ලාහ් දෙවියන් වහන්සේට ස්තුති කර සමාජයේ ද උඩඟු කමින් සිටිය නොයුතුය යනුවෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ හා මුහම්මද් නබි තුමාණන් දේශනා කොට තිබෙනවා.

3.අල්ලාහ් දෙවියන් වහන්සේ කෙරෙහි නොසැලෙන විශ්වාසය තැබීම


ඉහත සඳහන් පරිදි අල්ලාහ් දෙවියන් වහන්සේ වෙතින් උදව් පැතීමේදී නොසැලෙන දැඩි විශ්වාසයකින් කළ යුතුය. ඕනෑම කරදරයකදී හෝ වෙනත් උදව්වක් පැතීමේදී තම උදව්ව සඳහා අල්ලාහ් පමණක් ප්‍රමාණවත් යැයි දැඩි විශ්වාසයක් දැරීම තමන්ට ජීවිතයේ දායාදයන් වැඩිකර ගැනීමේ තවත් උපක්‍රමයක් බව ඉස්ලාම් අපට පෙන්වා දෙනවා.

තමන්ට කුමන දෙයක් අවශ්‍යය වුවද එය අල්ලාහ් දෙවියන් වහන්සේගෙන් ඉල්ලා සිටින්න යැයි අල්ලාහ් දෙවියන් වහන්සේ ශුද්ධ වූ අල් කුරාණයේ පවසනවා. තවද අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් එය නියත වශයෙන්ම ලබා දෙන බව දැඩි විශ්වාසයක් තිබිය යුතුය. නමුත් තමන් ද තමන්ගේ මට්ටමින් උපරිම මහන්සියෙන් එය ලබා ගැනීමට උත්සුක විය යුතුය.

උදාහරණයක් වශයෙන් යම් සිසුවෙක් විභාගයක් සමත් වීම සඳහා හුදෙක් අල්ලාහ්ගෙන් ආයාචනය පමණක්ම ඉල්ලා පාඩම් නොකර විභාගයට පෙනී සිටීමෙන් සිදුවන්නේ අසමත් වීමය. එම සිසුවාද තමන්ගේ උපරිමය ඉටු කොට අල්ලාහ් දෙවියන්
වහන්සේ වෙතට දැඩි විශ්වාසයකින් යුක්තව විභාගය සමත් වීම සඳහා ආයාචනා කළේ නම් එම සිසුවා පැතුවටත් වඩා පහසුවෙන් හා ඉහළ සාමාර්ථයකින් විභාගය සමත් කිරීමට අල්ලාහ් දෙවියන් වහන්සේ කටයුතු කරන්නේය.

විශ්වාසිකයින් අල්ලාහ් වෙතම සියල්ල භාර කරති ( අල් කුරාණය 14: 11)

කවරෙකු තම කාර්යයන් අල්ලාහ් වෙත පවරයිද , ඔහුට අල්ලාහ් ප්‍රමාණවත් වන්නේය. ( අල් කුරාණය 65 :3)

මෙම ආයාචනයෙන් වඩාත්ම ඉහළ සාර්ථකත්වය ලබා ගත හැක්කේ රාත්‍රියේ අවසන් හෝරාවන් වන සාමාන්‍යයෙන් අළුයම 2ත් 4ත් අතර කාලයයි. මෙම හෝරාවේ මුස්ලිම් වරුන් සඳහා අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් “තහජ්ජුත්” නම් වන්දනාවක් නියම කර තිබෙනවා. මෙම කාල පරාසය තුළ අල්ලාහ් දෙවියන් වහන්සේ දිනපතාම 7ත් වන අහසේ සිට පළමූවන අහසටම වැඩම කොට තමන් වෙත උදව් බලාපොරොත්තුවෙන් මෙම වන්දනය සිදු කරන්නේ කව්රුන්ද ඔවුන්ගේ එම ආයාචනයන් අනිවාර්යෙන් ඉටු කරන බව අල්ලාහ් දෙවියන් වහන්සේ පොරොන්දු වී ඇත. නමුත් තමන් ආගමානුකුලව ජීවත් වන්නේ නම් ඕනෑම මොහොතක සිදු කරන ඔහුගේ/ඇයගේ ආයාචනාව ඉතාමත් සීග්‍රයෙන් ඉටු වනු ඇත.

4.පව් සමා කර ගැනීම (පාපොච්චාරණය )


මිනිසා පව් කරන සුළුය යනුවෙන් ශුද්ධ වූ අල් කුරාණයේම අල්ලාහ් දෙවියන් වහන්සේ ප්‍රකාශ කර ඇත. මිනිසෙක් පව් කරන තරමටම ඔහුගේ අල්ලාහ් දෙවියන් විසින් අභිවෘධිය කප්පාදු කරනු ඇත. එම නිසා තමන්ගේ ජීවිතය ගැටළුකාරී නම් තමන් දැනුවත්ව හෝ නොදැනුවත්ව කළ පව් සිහිපත් කරමින් ඒ පිළිබඳව ලත වෙමින් අධික ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේ ඉදිරියේ පව් සමා කර ගත යුතුය. තමන් තව කෙනෙකුට පවක් කර ඇත්නම් එම පුද්ගලයා හමුවී ඔහුගෙන් සමාව ගත යුතුය. මෙලෙස නිතර නිතර පව් සමා කරගැනීම තුළින් තම ජීවිතයේ අභිවෘධිය වැඩි කර ගත හැකි බව අල් කුර්ආණය පෙන්වා දෙනවා. නමුත් එම පාපයන් නැවත සිදු නොකිරීමේ අධිෂ්ඨානයෙන් සිදු කර යුතුය. ඔබට තවමත් දරුපල නොමැතිනම් , ඔබේ පව්ළේ ආර්ථිකය දුර්වල නම්, දැඩි රෝගාතුරුව පෙළෙන්නේ නම්, ඔබේ ව්‍යාපාරය දැඩි ලෙස පාඩු විදින්නේ නම්, පව් සමා කර ගැනීමෙන් මෙම කරදර වලක්වා ගත හැකි අල් කුරාණය සහ හදීස් ග්‍රන්ථ අපට පෙන්වා දෙනවා.

මෙම ක්‍රියාව අපට සාමූහිකවද යොදා ගත හැක. උදාහරණයක් වශයෙන් ඔබේ ගමේ, නගරයේ කාලයක් තිස්සේ වැස්ස නොමැතිව පීඩා විදින්නේද,? එවිට ගම්මුන් සියළු දෙනා එක්රැස්වී වැඩි වැඩියෙන් පපොච්චාරණයේ යෙදීමෙන් නැවත වැස්ස ලබා ගත හැක. අද වර්තමානයේ ගෝලීය ලෙස බලපාන කොරෝනා මාරක උවදුරටත් මෙම ක්‍රමය යොදා ගත හැක.

විශ්වාසවන්තයනී! ඔබලා ජයග්‍රහණය ලබා ගැනීම පිණිස පව් සමාව ඉල්ලා අල්ලාහ් දෙසට යොමු වන්න ( අල් කුරාණය 24 :31)

“එබැවින් නුඹලා නුඹලාගේ පරමාධිපතිගෙන් (අල්ලාහ්) සමාව අයදිවු. සැබවින්ම ඔහු අති ක්ෂමාශීලිය” යැයි පැවසුවෙමි. එවිට ඔහු (අල්ලාහ්) වෙත අහසින් (වර්ෂාව අවශ්‍යය පරිදි ) අධිකව පහළ කරන්නේය. ධනයෙන්ද පිරිමි දරුවන්ගෙන් ද ඔහු නුඹලාට අධිකව පිරිනමන්නේය. නුඹලාට වතු යායන් (වගාවන් ) ඇති කරන්නේය. නුඹලාට ගංගා ද ඇති කරන්නේ ය”. ( අල් කුරාණය 71:10-12)

5.දන් දීම

තමන්ට අත් වී ඇති හා අත් සිදුවීමට ඇති කරදර වළින් මිදී අභිවෘධිය වැඩි කරගැනීමට හැකි තවත් එක් ක්‍රමයක් ලෙස හඳුන්වාදෙන්නේ දන් දීමය. මෙම දන් දීම ක්‍රියාවළිය ඉස්ලාමයේ ඉතාමත් කැපී පෙනෙන ලක්‍ෂණයකි. බොහෝ දෙනාගේ මතයක් හා කියමනක් වන්නේ යම් පුද්ගලයෙකු මුදලින් යම් උපකාරයක් ඉල්ලූ විට ” ඔහුට/ඇයට දුන්නොත් අපිට දෙන්නේ කව්ද?” යන්නය. තම ජීවිතයේ මත් පැන්, දුම්වැටි වලට හා වෙනත් නොයෙකුත් ආකාරයෙන් අනවශ්‍යය ආකාරයෙන් වියදම් කළ වුවද යම් පුද්ගලයෙකුට රු 10/= කින් උදව්වක් කිරීමට තිබෙන්නේ පුදුම අමාරුවකි.

නමුත් දන් දීම යනු වියදමක් නොව එය අනිවාර්ය වශයෙන් වැඩි වැඩියෙන් ප්‍රතිලාබ ලැබෙන ආයෝජනයක් බව ඉස්ලාමය මග පෙන්වා දෙනවා. තමන් යම් පුද්ගලයෙකුට උදව් කළේ නම් එම එම උදව්ව ලබා ගත් පුද්ගලයාගෙන් පෙරළා උදව් හෝ සේවයක් බලාපොත්තු නොවී අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් උදව් කර යුතු බවද එවිට අල්ලාහ් දෙවියන් වහන්සේ එම උදව් කළ පුද්ගලයාට පෙරළා වැඩි ගුණයකින් උදව් කරන බව ඉස්ලාමය මග පෙන්වා දී ඇත.

දෙන අත ලබන අතට ඩා උතුම්ය. (හදීස් ග්‍රන්ථය : බුහාරී 1429)

දන් දීම කරදර වළක්වාලයි” (හදීස් ග්‍රන්ථය)

දන් දෙන විට ඔබලා ප්‍රිය කරන දෙය ඔබලා වියදම් කරන තෙක් පින් ලබා නොගන්නොය ( අල් කුරාණය 3:92)

සදකාව (දානය) ඔබලා හෙළිදරව් කරන්නේ නම් එයද යහපත් ය. තවද ඔබලා රහසින් දුප්පතුන්ට ලබා දුන්නොත් එය ඔබලාට වඩා අගනේය.තවද එය ඔබලාගේ පාපයන් ඔබලාගෙන් ඉවත්කරයි. ඔබලා කරන දේ අල්ලාහ් හොදින් දනියි. (අල් කුරාණය 1:271)

නබිව්රය, ඔවුහු තමන් වියදම් කළ යුත්තේ කුමක් දැ ? යි නුඹගෙන් විමසන්නෝය. “වස්තුන් වලින් නුඹලා වියදම් කරන දෑ එය දෙමව්පියන්ටද ඥාතීන්ට ද අනාථයින්ට ද දිළිඳුන්ට ද මගීන්ට ද විය යුතුය. තවද නුඹලා යම් යහපතක් කරන්නේ නම් සැබවින්ම අල්ලාහ් එය මැනවින්ම දන්නාය.” යැයි පවසවූ.( අල් කුරාණය 2: 215)

ආදම්ගේ පුත්‍රය! ඔබ ඔබට අවශ්‍යය දේ හැර වැඩිපුර දේ වියදම් කිරීම සුදුසුය. එය ළඟ තබා ගැනීම ඔබට සුදුසු නැත. අවශ්‍ය දේ ළඟ තබා ගැනීම නිසා ඔබ වරද කරුවෙකු නොවේ. සදකා (දන්) දීම ඔබගේ වගකීම යටතේ සිටින අයගෙන් ආරම්භ කරන්න (හදීස් ග්‍රන්ථය – තිර්මිදි)

මෙලෙස දානය පිළිබඳව ශුද්ධ වූ අල් කුර්ආණයේ සහ හදීස් ග්‍රන්ථ වල ගුණ සඳහන් කර ඇති වැකීන් අනන්ත අප්‍රමාණව පෙන්විය හැක.

සහෝදරයෙක් තවත් සහෝදරයෙකුට උදව්වක් කිරීම සඳහා යම් ගමනක පිට වන්නේ ද ඔහුගේ එම ගමන ඔහු මදීනාවේ පිහිටි මුහම්මද් නබි තුමාගේ අතින් ගොඩනැගුනු ඉස්ලාමයේ ප්‍රධාන එක් කේන්ද්‍රස්ථානයක් වන මස්ජිදුන් නබවි නොහොත් මදීනා පල්ලියේ මාසයක්ම එක දිගට නොකඩවා පින් කර රැස් කර ගත් පින් වලට වඩා වැඩි වටිනාකමක් දරන බව මුහම්මද් නබි තුමා පැවසූ බව හදීස් ග්‍රන්ථයක් තුළ සඳහන් වෙනවා. මෙම මදීනා පල්ලියේ එක් කුසලකට සාමාන්‍ය අනෙක් පල්ලි තුළ කරන කුසල මෙන් 50000 ගුණයක් වැඩියෙන් ලැබෙනවා. මේ අනුව දානයක් යනු ඉස්ලාමීය කෝණයෙන් කෙතරම් වැදගත් කමක් , උසස් කමක් දරන පින් කමක් කියා ඔබටම නිගමනය කර ගත හැක.

උදව් කිරීමේදී ලෝබ නොවී අල්ලාහ් දෙවියන් වහන්සේ මේ වෙනුවෙන් අනිවාර්යෙන් උදව් කරනු ඇති යන දැඩි විශ්වාසයෙන් දන් දීම සහ එය තවත් කෙනෙකුගේ ඇගයීම බලාපොරොත්තු නොවී අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් රහසිගතව සිදුකරන්නේ නම් කරන්නේ නම් වඩාත් පළදායී බව ඉස්ලාමය පෙන්වා දෙනවා.

විශ්වාසවන්තයිනි! හොඳ දෙයින් ඔබලා කුමක් වියදම් කළද එය ඔබටම ප්‍රයෝජනවත්ය. තවද අල්ලාහ්ගේ තෘප්තිය හැර ඔබලා වියදම් නොකරන්න. හොඳ දෙයින් ඔබලා කුමක් වියදම් කළද, ඔබලාට සම්පුර්ණයෙන් (ආපසු) දෙනු ලැබේ. ඔබලාට අසාධාරණයක් සිදු නොවේ. ( අල් කුරාණය 2: 272)

දන් දීම යනු මුදලින් පමණක් උදව් කිරීම නොවේ. ඉස්ලාමයේ දන් දීම පැතිකඩ 18 කට බෙදා වෙන් කර දක්වනවා. මෙම දන් දීමේ ක්‍රියාවේ ඇති ගුණය ඉස්ලාමීය කෝණය අනුව මෙලෙස කෙටියෙන් විස්තර කර හැකි මාර්තෘකාවක් නොවේ. එම නිසා මේ පිළිබඳව වෙනම දීර්ඝ විස්තරයක් සහිත post එකක් වෙනමම පළ කිරීමට බලාපොරොත්තු වෙමු.

6. නෑදෑයින් සමඟ සුහදව සිටීම

සමාජයේ අපට අසන්නට ලැබෙන තවත් එක් මතයක් නම් නෑදෑයින් සමඟ ආශ්‍රය වැඩි වන තරමට කරදර වැඩි වන බව. මෙය පදනම් කරගෙන “නෑයෝ කියන්නේ වේයො” කියලත් කියමනක් තිබෙනවා. මේ නිසා සමහරුන් නෑයින් සමඟ වෙන් වී තනිවම වෙන්ව ජීවත් වීමට උත්සහ දරනවා. නමුත් ඉස්ලාමය දරන්නේ මේකට හාත්පසින්ම වෙනස්ම මතයක්. ඉස්ලාමය පවසන්නේ අප නෑයින් සමඟ සුහදව ආශ්‍රය කිරීම අපට සෞභාග්‍යය ගෙන දෙන කරුණක් කියලාය. නෑයින් විසින් අපට කොතරම් ද්‍රෝහී කම් , ගුණ කෙළෙහි කම්, සතුරු කම් කළද අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් ඒවා අමතක කර ඔවුනට සමාව දී ඔවුන් සමඟ සුහදව කටයුතු කරන්න ලෙස ඉස්ලාම් අපට අවවාද කරනවා.

කවරෙක් තම ජීවන අවශ්‍යතා වැඩි කරගැනීමටද , ආයුෂ වැඩිකර ගැනීමටද , කමතිවන්නේ නම් , ඔහු නෑදෑයින් සමඟ සමඟිව ජීවත් විය යුතුය (හදීස් ග්‍රන්ථය – බුහාරි , මුස්ලිම්)

ඔබලා (අල්ලාහ්ගේ ධර්මයට කීකරු නොවී ) ප්‍රතික්ෂේප කරන්නේ නම් , මහ පොළොව මත (ලේ වගුරුවා) කෝලහාල කිරීමත් , ලේ සම්බන්ධතවය ඇති ඔබලාගේ නෑදෑයින් ගෙන් ඈත්වීමට බලාපොරොත්තු වන්නෙහුද? ඔවුන් කෙබඳු අයද යත් අල්ලාහ් ඔවුනට ශාප කර ඔවුන්ගේ කන් බිහිරිකර, ඔවුන්ගේ පෙනීමද අන්ධ කළේය. ( අල් කුර්ආණය 47:22-23)

තවද කවරෙකු අල්ලාහ්ගේ පොරොන්දුව තහවුරු වූ පසුත්, එය කඩ කරන්නේ ද,තවද අල්ලාහ් ළං කරගන්නා ලෙස අණකළ ළේ නෑකම බිඳ පොළොව මත විනාශකාරී කටයුතු කරන්නේ ද,එවැනි අයට අල්ලාහ්ගේ ශාපය හිමිවන්නේ ය. තවද ඔවුනට වඩාත් නරක නිවහනක් (අපාය) තිබේ. ( අල් කුර්ආණය 13:25)

“නෑදෑ සම්බන්දකම් බිඳ දමන්නා ස්වර්ගයට පිවිසෙන්නේ නැත” (හදීස් ග්‍රන්ථය – බුහාරි :339)

7.රැකියාවේ හෝ ව්‍යාපාරයේ යෙදීම

ජීවිතයට අභිවෘධිය ගෙන දෙන ක්‍රමයක් ලෙස මෙම ක්‍රමයද ඉස්ලාම් හදුන්වා දෙනවා. ලොව වෙසෙන ඕනෑම කෙනෙකුට රැකියාවක් කිරීමට අවසර ඇත. පූජකයෙකු වුවද කාන්තාවක වුවද රැකියාවක් කිරීමට තහනමක් ඉස්ලාමයේ නැත. රැකියාවක් හෝ ව්‍යාපාරයක් කර අනුන්ට අත නොපා තමන්ගේ වගකීම යටතේ සිටින්නවුන්ටද අවශ්‍යය දේවල් සැපයීම උසස් පුණ්‍ය කර්මයක් ලෙස ඉස්ලාමය පෙන්වා දෙනවා.

මිහිතලය නුඹලාට යටත් ලෙස සකස් කළේ ඔහුමය (අල්ලාහ්).එබැවින් නුඹලා එහි (මිහිතලයෙහි) ප්‍රදේශයන්හි ගමන් කරවු. තවද ඔහුගේ ආහාරයෙන් අනුභව කරවු.( අල් කුරාණය 67:15)

මිහිතලය සිසාරා ගමන් කොට අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් සම්පාදනය කොට ඇති ආහාර සොයා ගන්නා ලෙස අල්ලාහ් දෙවියන් වහන්සේ මෙමගින් අපට ව්‍යාපාරයේ වැදගත්කම සහ අවශ්‍යතාවය පෙන්වා දී ඇත.

නමුත් රැකියාව හෝ ව්‍යාපාරය තුළින් තමන්ට අභිවෘධිය අවශ්‍ය වන්නේ නම් වංචාව ,බොරුව, පොළිය හා සූදුවෙන් තොරව කළ යුතු බව ඉස්ලාම් අපට පෙන්වා දෙනවා. එසේ නොමැතිව කරන්නේ නම් එම ව්‍යාපාරයේ හෝ රැකියාවේ තමන් කෝටි ගණන් ඉපැයුවද එහි කිසිම සතුටක් , නිමක්, අභිවෘධියක් නොලැබෙන බවද, මරණින් පසුවද දැඩි නින්දා සහගත ඉරණමකට අත් වීමට සිදුවන බව ඉස්ලාමය අනතුරු හඟවයි.


වර්තමානයේ අපට ජීවිතය ජය ගැනීම සඳහා නොයකුත් ආකාරයේ ආයෝජන ක්‍රම තිබෙනවා. කොටස් වෙළඳ පොළ ආයෝජනය, එසේත් නැතිනම් යම් වෙළඳ නාමයක් සඳහා ආයෝජනය කිරීම, වෙළඳ බාන්ඩයක් සඳහා ආයෝජනය කිරීම, ස්ථාවර තැන්පතුවල ආයෝජන කිරීම, රත්තරන් සඳහා ආයෝජනය, අන්තර්ජාල වෙන්දේසි සඳහා ආයෝජන යනුවෙන් නොයෙකුත් යෝජනා තිබෙනවා. නමුත් මේවයින් බොහොමයක ආයෝජනය කිරීම සඳහා මූලික දැනුමක් , හෝ ප්‍රාග්ධනයක් , පෙර අත්දැකීමක් අවශ්‍ය වෙනවා. සමහර විට එවන් මූලික දැනුම හෝ ප්‍රාග්ධනය තිබුනද ආයෝජනයෙදී සමහරක් විට පාඩු ලැබීමට සිදු වෙනවා. සමහර අවස්ථාවන් වලදී තම තිබු වත්කම පවා වෙන්දීසි කිරීමට සිදුවෙනවා. ලාබ පිට ලාබ ලැබීමේ අවස්තාවන් ද නැතුව් නොවේ. නමුත් අවධානයක් තිබෙනවා.

නමුත් අප ඉහළින් සඳහන් කළ ඉස්ලාමයේ හදුන්වාදෙන රැකියාව සහ ව්‍යාපාරය යන ක්‍රමයට අමතරව හඳුන්වා දී ඇති ආයෝජන ක්‍රම 6 කියන්නේ ඔනෑම කෙනෙකුට ඕනැම වෙලාවක ලෙහෙසියෙන් කිසිදු මුදලක්,කිසිදු පෙර දැනුමක් හෝ පෙර අත් දැකීමක් නොමැතිව නියත වශයෙන්ම ජීවිතය ජය ගත හැකි ක්‍රම කිහිපයකි. මෙම ක්‍රමයන් නිසා ඔබට ඔබේ ජීවිතය පමණක් නොව නිරායාසයෙන්ම සමාජයේද යහපතක් දක්නට ලැබෙනු නියතය.

50% LikesVS
50% Dislikes

Share කරන්න