Share කරන්න

2019 අප්‍රේල් මස 21ක් වන පාස්කු දින සිදුවූ ඒ මහා ඛේදවාචකෙයෙන් ජීවිත අහිමි වූ , ජීවිතවලට හානි වුත් , සියලු ආදරණීය කිතුණු බැතිමතුන් හෝටල් සේවකයින් හා  විදේශිකයින්,  සහ අලාභ හානි වූ සියලු කිතුනු දේවස්ථාන,හෝටල් වෙනුවෙන් අපගේ බලවත් ශෝකය ප්‍රකාශ කරන අතර ඔව්න් සියලු දෙනාටම ස්වර්ගයේ ඉහළම ස්ථානය ලැබේවා.

මෙම මාර්තුකාවට ප්‍රවිශ්ඨ වීම සඳහා  ශුද්ධ වූ අල් කුරාණයේ එක් වැකියක් සමග ආරම්භ කිරීමට කැමැත්තෙමි.

“දඬුවම් වශයෙන් හැර මිනිසෙකුව නිකරුණේ මරා දැමීම මුළු මහත් මිනිස් වර්ගයාම මරා දැමීමට සමාන වන්නේය. එළෙසම යමෙක් මිනිස් ජීවිතයක් බේරා ගනීද ඔහු මුළු මිනිස් වර්ගයාම බේරා ගත්තා හා සමානය.” (අල් කුරාණය 5:32)

මෙම වැකිය තුලින් පමණක් ඉස්ලාමය සහ මෙම කුරිරු ම්ලේච්ච ප්‍රහාරය අතර ඇති පරස්පරතාවය මැනවින් ඔප්පු වේ. 

 “විශ්වසවන්තයනි, නීතිය අකුරටම පිලිපදීමෙහි අල්ලාහ් වෙනුවෙන් නුඹ සාක්ෂි දරව්. මිනිසුන්ගෙන් එක්    කොටසක් කෙරෙහි (ඔබ තුල ඇති ද්වේශය (ඔවුනට) අපරාධයක් කිරීමට ඔබව පොළඹවා නොගනිව්. (කොපමණ ක්‍රෝධයන්  තිබුනද ) ඔබ නීතියම ක්‍රියාත්මක කරව්”.     (අල් කුරාණය 5:8)

එක් පුද්ගලයෙකුට තව පුද්ගලයෙකු හිංසා කළ වුවද එම හිංසාවට ලක්වූ පුද්ගලයාට තමාට අභිමත පරිදි ඔහුගෙන් පළිගැනීමට ද ඉස්ලාමයේ අවසරයක් නැති බව මෙම අල් කුර්ආන් වැකියෙන් මනාව පිළිඹිබු වනු ඇත. කොපමණ හිංසා වුවද තම මනස පාලනය කොට නීතිමය මාර්ගයෙන් පමණක් පිළිපදින බවට අල්ලාහ් දෙවියන් වහන්සේ අල් කුරාණය හරහා අපට මග පෙන්වා දී ඇත.

මෙම ප්‍රහාරය සම්බන්ධව කළ පරීක්ෂණ තුලින් මෙම ප්‍රහාරය සිදු කිරීමට හේතු වුයේ, අන්තවාදී පිරිස් විසින් මුස්ලිම් වරුන්ට මීට පෙර කළ හිංසාවන් සඳහා පළි ගැනීමද , ඉස්ලාම් රාජ්‍යක් බිහිකිරීමද, ඊශ්‍රායලෙන් නොහොත් යුදෙව්වන් (මුස්ලිම් විරෝධීන්) ලංකාවේ හෝටල් වලට පැමිණීම නිසා එයට විරෝධයක් වශයෙන් හෝටල් වලට බෝම්බ දැමීම, නවසීලන්තයේදී කිතුනුවකු විසින් මුස්ලිම් පල්ලියටක ප්‍රහාරයක් එල්ල කිරීම  යන අරමුණු වේ. 

නමුත් මෙම අරමුණු සහ මියගිය ඒ අහිංසක බැතිමතුන් අතර කිසිදු සම්බන්දතාවයක් නොමැති බව අප හොදින් හඳුනන දෙයකි. තවද මෙම පහාරකයින්ගේ මෝඩ අරමුණු සහ ක්‍රියාවන්ට ඉස්ලාමයේ කිසිදු අනුමැතියක් නොමැති බවද ඉහත අල් කුරාණයේ වැකි තුලින් මනාව ඔප්පු වනු ඇත. 

ඉස්ලාමයේ ආගමට බඳවා ගැනීමට කිසිදු බල කිරීමක් නොමැති අතර එය බලවත් පාපයකි. 

එබැවින් නබිවරය,නුඹ උපදෙස් දෙවු, සැබවින්ම නුඹ හුදෙක් උපදෙස් දෙන්නෙකු පමණය. ඔවුන් කෙරෙහි නුඹ බල කරන්නෙකු නොවේ.( අල් කුරාණය 88:21-22)

“දහම සම්බන්ධව බල කිරීමක් නොමැත”. (අල් කුරාණය 2:256) 

“සත්ත්‍යය නුඹගේ පරමාධිපතිගෙන්  යෙය් නබිවරය  නුඹ පවසව්. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!” (අල් කුරාණය  18:29)

අල් කුරාණයේ අල්ලාහ් දෙවියන් වහන්සේ ද පවසන්නේ ආගම පිලිබඳ උපදෙස් පමණක් කරන ලෙසද, කිසිදු බල කිරීමක් නොකරන ලෙසය.

ඉස්ලාමයේ අවස්තාවන් දෙකකදී යුද්ධ කිරීමට අවස්තාව දී තිබෙනවා. නමුත් රාජ්‍ය අවසරය මෙයට තිබිය යුතුය. එම අවස්ථා නම්. 

1. සුරක්ෂාවරණ ජිහාදය

ඔබගේ රටට එරෙහිව පහර දුනහොත් ඉස්ලාමය හා ආත්මාරක්ෂාව පදනම් කරගෙන සටනට පිවිසීම. මෙය පුද්ගල හෝ කණ්ඩායම් ගැසී පදනම් විරහිත ලෙස ගන්නා තීන්දුවක් මත සිදු නොවන්නකි. රාජ්‍ය හෝ වගකීම් සහිත ජනතා නායකත්වය හා මග පෙන්වීමක් මත මෙය සිදුවිය යුතුය. මෙය ‘සුරක්ෂාවරණ ජිහාදය’ ලෙස හැඳින් වේ. මෙම ජිහාද් පිළිවෙත පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනයේ මෙසේ සඳහන් කරයි.

“කවරෙකු නුඹලා සමග යුද වදින්නේ ද ඔවුන් සමග අල්ලාහ්ගේ මාර්ගයෙහි නුඹලා යුද වදිවු. නමුත් නුඹලා සීමාව ඉක්මවා නොයවු. සැබැවින්ම අල්ලාහ් සීමාව ඉක්මවා යන්නන්ව ප‍්‍රිය නොකරයි.” (අල් කුර්ආන් 2:190)

කුරිරු කොටි සංවිධානයට එරහිව අප ශ්‍රී ලාංකීය යුද හමුදාව රටේ සාමය සහ සංහිදියාව වෙනුවෙන් කල ඒ මහා යුද්ධය මෙයට හොදම නිදසුනකි. 

2. ආක‍්‍රමණික ජිහාදය

ලොවෙහි සිදුවන අපරාධ, අවනීතිය, දුෂ්ටකම්, ත‍්‍රස්තවාදය, ආදියට එරෙහිව ඉස්ලාමිය රාජ්‍යයක් විසින් ගන්නා වූ යුධමය පියවරක් ලෙස දෙවන අවස්ථාව නම් කළ හැක. දුෂ්ටකම් හා අසාධාරණය සිදුවන බව පෙනි පෙනී නිහඬ වීමට ඉස්ලාමිය රජයකට අනුමැතිය නොමැත. ස්ත‍්‍රී බලහත්කාරකම්, ළමා අපයෝජන, මත්කුඩු හා මත්ද්‍රව්‍ය, සොරකම, ත‍්‍රස්තවාදය, අසාධාරණ පහර දීම් වැනි දෑ පැතිරෙමින් තිබෙන තත්ත්වයක නිහඬ විය හැක්කේ කිනම් රජයකට ද? ස්වභාවික නීතිය උල්ලංඝනය නොකොට මේවාට එරෙහිව කටයුතු කිරීම අපගේ වගකීමයි.

සතුරාගේ ආධිපත්‍යය හා බල මහිමය බිඳ දමා සතුරාගේ දුෂ්ටකම්, පීඩාව හා මැරවරකම් අවසන් කොට සාමය, යුක්තිය හා සාධාරණය ස්ථාපිත කරන තුරු ජිහාදයේ නියැලීම ඉස්ලාමීය රජයකට අනිවාර්ය වන්නේය. මෙය “ආක‍්‍රමණික ජිහාදය” ලෙස හැඳින් වේ. මෙම ජිහාද් පිළිවෙත පිළිබඳව අල්ලාහ් අල් කුර්ආනයේ සඳහන් කරයි.

“අපගේ පරමාධිපතියාණනී, අපරාධ කරමින් සිටින්නා වූ වැසියන්ගෙන් යුත් මෙම නගරයෙන් අපව ඉවත් කරනු මැනව! ඔබගෙන් වූ ආරක්ෂකයෙකු අප වෙනුවෙන් පත් කරනු මැනව! තවද ඔබගෙන් වූ උදවුකරුවෙකු අප වෙනුවෙන් පත් කරනු මැනවැ!”යි පවසා සිටින දුර්වලත්වයට (පත් කර හිංසාවට) ලක් කරනු ලැබූ පුරුෂයින්, ස්ත‍්‍රීන් හා ළමුන් වෙනුවෙන් අල්ලාහ්ගේ මාර්ගයේ නුඹලා සටන් නොවැද (නිහඬව) සිටීමට නුඹලාට කුමක් වී ද?” (අල් කුර්ආන් 4:75)

මේ අනුව ශ්‍රී ලංකාව වැනි මුස්ලිම් සුළු කොටසක් ජීවත් වන රාජ්‍යක ඉහත කී ප්‍රභේද දෙක වලංගු නොවන අතර  රාජ්‍ය අනුග‍්‍රහයකින් තොරව ශ‍්‍රී ලාංකේය මුස්ලිම්වරුන්ට එය සිදු කිරීමට කිසිදු අනුමැතියක් ඉස්ලාමයේද නොමැත. තවද යුද්ධ කිරීමේදී ද පවා තමන්ට අභිමත පරිදි යුද්ධ කිරීමට අවසර නැති අතර පිළිපැදිය යුතු කොන්දේසි කිහිපයක් තිබෙනවා. ඒවා නම් මෙසේය.

  • කිසිවෙකුව ගින්නෙන් පුළුස්සා දැමීම හෝ ගින්නෙන් වධ හිංසා කිරීම තහනම් 
  • සටන් කිරීමට නොහැකි හෝ සටන් කල හැකි  අබාධිත සොල්දාදුවන්ට පහර දීම තහනම් 
  • යුධ සිරකරුවන් මරා දැමීම තහනම් 
  • යුධ සිරකරුවන්ගේ මුලික අවශ්‍යතා නිසි ලෙස ඉටු කර දිය යුතුය.
  • බැඳ දමා හෝ රඳවා තබා ඇති කිසි කෙනෙකුව මරා දැමීම තහනම් 
  • ජනාවාසයන්ට පහර දීම මංකොල්ල කෑම, දේපළ හානි සිදු කිරීම සපුරා තහනම් ය.
  • මෘත දේහයන්ට අපහාස වන අයුරින් කටයුතු කිරීම් හෝ අංග  චේදනයන් කිරීම් සපුරා තහනම්.
  • සතුරු මෘත දේහ ඔවුන්ගේ කඳවුරු වලට බාර දිය යුතුය.
  • එළැබ ඇති කිසිදු ගිවිසුමක් කඩ නොකළ යුතුය.
  • මහලු අය, රෝගීන්, ස්ත්‍රීන් , දරුවන් ආදීන් ආරක්ෂා වන අයුරින් කටයුතු කල යුතුය.
  • අන් ආගමික ස්ථාන හා පුජ්‍ය පක්ෂයන්ට කිසිදු හානියක් සිදු නොකළ යුතුය.
  • ගස් හා බෝග වර්ග විනාශ නොකළ යුතුය. මෙවාට ගිනි තැබීම සපුරා තහනම් ය.
  • සතුරු කඳවුරට අයත් ගව මහීෂාදීන් නිකරුනේ මරා නොදැමිය යුතුය.

ඉහලින් දැක්වුයේ ඉස්ලාමීය හමුදාවක් හැසිර යුතු අකාරය පිලිබඳ වූ චර්යවන්ය. මෙමගින් ඉස්ලාම් යුද්ධයක් අනුමත කරන්නේ මිනිසුන් ඝාතනය කිරීමට නොව අපරාධයක් ඝාතනය කිරීමට බව ඔබ අපට මානව වැටහෙනු ඇත. එම නිසා ඉතාමත් අතලොස්සක් කළ මෙම මහා නීච,මෝඩ පාප කර්මයට මුළු මහත් මුස්ලිම් ජනයාට සහ ඉස්ලාම් දහමට දෝෂාරෝපණය හා දේපළ අලාබ හානි නොකරන ලෙස මෙයින් කාරුණිකව අප ඉල්ලා සිටින අතර මෙය තම අවි යුධ විකුණා අනුන්ගේ ලේ පොළොවට වපුරා තමන් පොහොසත් වීමට වෙර දරන ලොව බලවත් රාජ්‍යන්ගේ ප්‍රයත්නයක් බව අප කව්රුත් බුද්ධිමත් ව අවධාරණය කළ කර යුතු කරුණකි. 

ක්‍රිස්තියානි ආගම හා ඉස්ලාම් ආගම අතර බැඳීම

ඉස්ලාමය සහ ක්‍රිස්තියානි ආගම යනු ඉතාමත් සමීප බැඳීම් දෙකකි. මුහම්මද් නබි තුමාගේ නායකත්වයට පෙර අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් අපට නියම කළ නායකයා තමයි ජේසුස් වහන්සේ කියන්නේ(PBUH). ජේසුස් ක්‍රිස්තුස් වහන්සේව ඉස්ලාමයේ හදුන්වන්නේ ඊසා නබි තුමා යනුවෙනි. අල්ලාහ් දෙවියන් වහන්සේ ශුද්ධ වූ අල් කුර්ආණයේ විටෙක එතුමන්ව (ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ව) “මසීහ්” යනුවෙන් හදුන්වා ඇත. ශුද්ධ වූ අල් කුරාණයේ ජේසු නබි තුමන් පිලිබඳ වැකීන් 52ක් පමණ සඳහන් වෙනවා. ක්‍රිස්තියානි බැතිමතුන් විශ්වාස කරන්නාක් මෙන් මුස්ලිම් වරුන්ද ඔහු තවමත් ජීවමාන බවද ඔහු අනාගතේදී මෙළොවට පහළ වන බවද විශ්වාස කරන අතර එසේ විශ්වාස කිරීම ප්‍රධාන වගකීම් පහෙන් දෙකක් වන අල්ලාහ් ගේ රසූල් වරුන් විශ්වාස කිරීම හා අවසන් දිනය විශ්වාස කිරීම යන කරුණු දෙකට අයත් වේ. එය විශ්වාස නොකරන්නා මුස්ලිම් වරයෙක් නොවන බවද අල්ලාහ් දෙවියන් වහන්සේ හා මුහම්මද් නබි තුමා අපට අවධාරණය කර තිබෙනවා.

ධර්ම පුස්තකය ලත් ජනයනි, නුඹලාගෙන් දහම තුළ සීමාව ඉක්මවා නොයවු. නුඹලා සත්‍යය මිස අන් කිසිවක් අල්ලාහ් කෙරෙහි නොපවසවු. සැබවින්ම මසීහ් (නැමැත්තා කව්රුන්ද යත් ) , මර්යම් ගේ පුත් ඊසා ද අල්ලාහ් ගේ රසූල්වරයෙකු ද මර්යම් වෙත ඔහු (අල්ලාහ්) එය ආධානය කළ ඔහුගේ වදන (වූ නියෝගය ) ද ඔහුගෙන් වූ ප්‍රාණයද වේ. එබැවින් අල්ලාහ්ව ද ඔහුගේ රසුල්වරුන්ව ද විශ්වාස කරවූ.” ( අල් කුරාණය 4:171)

තවද “සැබවින්ම අපි අල්ලාහ්ගේ රසුල්වරයා වන මර්යම්ගේ පුත් ඊසාව ඝාතනය කෙළෙමු ” යැයි ඔවුන් කළ ප්‍රකාශය හේතුවෙන් ද (ඔවුන්ගේ හදවත් තුළ මුද්‍රා තැබුවේ)ය. (එනමුත්) ඔවුහු ඔහුව (ඊසාව) ඝාතනය කළේ ද නැත. කුරුසියේ (තබා ඇණ ) ගැසුවේ ද නැත. නමුත් ඔවුනට ඔහු මෙන් වෙන කෙනෙකුව සමාන කර පෙන්වනු ලැබීය. සැබවින්ම ඔහු පිලිබඳව මතභේද ඇති කර ගත්තවුන් ඒ පිලිබඳව සැකයෙහි සිටිති. අනුමානය පිළිපැදීම මිස ඒ පිළිබඳව කිසිදු දැනුමක් ඔවුනට නැත. ස්ථීර වශයෙන්ම ඔවුහු ඔහුව නොමැරුවෝය.(4:157)

තවද ශුද්ධ වූ අල් කුර්ආණයේ 19 වන පරිච්චේදය වන “මර්යම්” හි 16 වන වාක්‍යය සිට 35 වන වාක්‍යය දක්වා අල්ලාහ් දෙවියන් වහන්සේ මර්යම් තුමියට (මරියා තුමියට) ඇයගේ සැමියාගේ ආශ්‍රයකින් තොරවම ඊසා නබි තුමන් (ජේසුස් වහන්සේ) උපත ලැබූ සිද්ධිය විස්තර කර ඇත.

මෙම පාස්කු ප්‍රහාරය සඳහා මුස්ලිම් ජාතිකයන් කිහිප දෙනෙකු භාවිතා කළද මෙහි මහා මොළ කරුවන් , මේහෙයවූවන් , මෙය සැබෑවටම මුස්ලිම් ජාතිකයන්ගේ පරමාර්ථයක් ඉෂ්ඨ සිද්ධ කිරීමක් ද යන්න වර්තමානයේ පාස්කු ප්‍රහාරයට අදාළව සිදුවන විමර්ෂණ වල ස්වභාවය තුළින් ලාංකිකයන් ට මනාව අවබෝධ කර ගත හැක. නමුත් අවාසනාවන්ත ලෙස අසරණ මුස්ලිම් පවුල් , වෙළඳ ස්ථාන හා ආගමික සිද්ධස්ථාන කිහිපයක් ම ඉතා නින්දිත ලෙස කඩා බිඳ දමා සිදු කළ ඒ අනවශ්‍ය නින්දිත ක්‍රියාව කොතරම් සාධාරණ දැයි පාඨක ඔබට හැඟෙනු ඇති බව අපි සිතමු.

මෙම සිද්දියත් සමඟම කරලියට ආ කඩු පිලිබඳ මත වාදයද අමතක කළ නොහැක. කඩු තැනින් තැන පල්ලිවල හා නිවෙස්වල හමුවූ අවස්ථාවන් වලදී ඒවා ජන මාධ්‍ය තුලින් රටට හුවා දැක්වූ ලංකාවේ සමහරක් ප්‍රචලිත මාධ්‍ය නාලිකා ඒවායේ නඩු අවසන් වූ පසු නඩුවේ විනිශ්චය රටට හෙළි නොකිරීමට හේතුව පුදුමයට කරුණක් නොවුවද කණගාටුවට කරුණකි.

ඉවසීම සහ සමාව දීම

තවත් කෙනෙකු හෝ පිරිසක් විසින් අපට කෙතරම් සතුරු කම් කළ ද අපට හැකි සෑම විටම එයට සමාව දී ඔවුන්ගේ යහපත වෙනුවෙන් අල්ලාහ් ඉදිරියේ ආයාචනා කරනු බව ඉස්ලාමය අපට ඉතා අලංකාරවත් මාර්ගෝපදේශනයක් ගෙන දක්වනවා. තවද කුමන කරදරයක් පැමිණියද ඉවසීම හා නැමදුම තුළින්ම විසඳුම ලබා ගන්නා ලෙසද අල්ලාහ් දෙවියන් වහන්සේ අපට අවවාද කරනවා.

නබිවරයාණෙනි ! ඔබ සමාව දීම පිළිපදින්න.හොඳ අණ කරන්න. නොදැනුවත් අයගේ (ක්‍රියාවන් ) ප්‍රතික්ෂේප කරන්න ( අල් කුරාණය 7:199)

අයහපත් අයගේ හිංසාව ඔබ සම්පුර්ණයෙන් ප්‍රතික්ෂේප කර, කාරුණිකව සමාව දෙන්න ( අල් කුරාණය 15:85)

ඔවුනට සමාව දෙන්න.පරණ සිත් වේදනා නොසලකා හරින්න. අල්ලාහ් ඔබලාට සමාව දීමට ඔබලා අකමැතිද? ( අල් කුරාණය 24:22)

අල්ලාහ් කෙරෙහි භිය බක්තිය ඇත්තන් කවරෙක් ද යත්, ඔවුන් මිනිසුන්ව සමා කරන්නේය. අල්ලාහ් මෙවැනි පින් කරන්නන්ව ප්‍රිය කරයි. ( අල් කුරාණය 3:134)

තවද කවරෙකු අලාභයට පත් වූ පසුත් ඉවසා, සමාව ලබා දුනහොත් (එය) නියතවශයෙන්ම ක්‍රියාවෙන් ඉතා උසස් වන්නේ ය. ( අල් කුරාණය 26:43)

“කවරෙකු ඉවසීමෙන් යුතුව ක්ෂමාව දෙන්නේ ද නියතවශයෙන් ම එය ශක්තිමත් කරුණුවලට අයත් ක්‍රියාවකි (42:43)

ඉවසිලිවන්තයින්ට අසීමිත පින් ප්‍රදානය කරනු ලැබේ. ( අල් කුරාණය 39: 10)

විශ්වාසවන්තයිනී! ඉවසීමෙන්ද සලතයෙහි (නැමදුම) යෙදීමෙන් ද උදව් පතන්න. නියතවශයෙන්ම අල්ලාහ් ඉවසිලිවන්තයින් සමඟ සිටියි. ( අල් කුරාණය 2:153)

පාස්කු ප්‍රහාරයෙන් පසුවද සමහර කිතුනු නොවන අය පවා අසාධාරණ ලෙස සාමාන්‍ය අසරණ මුස්ලිම් ජන ජීවිතවලට හා දේපළ වලටද, මුස්ලිම් පල්ලි වලට හානි කිරීමේදී අපගේ ශ්‍රී ලංකා ඉස්ලාම් විද්වතුන්ගේ සංගමය හෙවත් ශ්‍රී ලංකා ජමියතුල් උලමා සභාව විසින් මුස්ලිම් වරුන්ට මෙයින් කෝපයට පත් නොවී ඉවසීමෙන් සිටිනු ලෙස අණ කර සිටියේ ශුද්ධ වූ අල් කුරාණයේ මග පෙන්වීම තුළින් ය.

සියලු ආගම් අපට උගන්වනුයේ සාමය සහෝදරත්වය සහ මෛත්‍රීය පමණක් බවද තම තමන්ගේ ආගම නිසි අයුරින් පිළිපැදීමෙන් පමණක් අපට සාමය බලාපොරොත්තු විය හැකි අතර වෛරයෙන් වෛරය කිසිදාක නොසන්සිදු වන බව අප මතක තබා ගත යුතුව ඇත.

100% LikesVS
0% Dislikes

Share කරන්න