Share කරන්න

මෑත කාලීනව පාස්කු ප්‍රහාරයේ සිද්ධියත් සමඟ ශ්‍රී ලංකාවේ දැඩි ආන්දෝළනයකට සහ කතිකාවකට භාජනය වූ කරුණක් තමා මෙම “බුර්කාව ” කියන්නේ. ලංකාවේ පමණක් නොව ලොව රටවල් කිහිපයකම විටින් විට කතිකාවට පත් වන කරුණක් බවට සහ ඇතැම් විට බුර්කාව පැළඳීම නීතියෙන්ම තහනම් බවට පත් වෙනවා. මේ හේතුන් නිසාවත්ම අපි බුර්කාව පිලිබඳ ඉස්ලාමිය පදනම කුමක්දැයි ඔබට පැහැදිළි කිරීමට කැමැත්තෙමු.

බුර්කාව පිලිබඳ යමක් ප්‍රකාශ කිරීමට පෙර ඉස්ලාමයේ කාන්තාවක් ඇඳුම් පැළඳිය යුතු ආකාරය සහ සමාජයේ හැසිර යුතු ආකාරය පිලිබඳ දක්වන මතය අල් කුරාණය තුළින් සොයා බලමු.

ඕනෑම පිරිමියෙක් තමාගේ බිරිඳ හෝ වේවා හෝ දුව හෝ වේවා හෝ මව හෝ වේවා හෝ සහෝදරිය හෝ වේවා ඔබගේ ඥාති සහෝදරියකු හෝ වේවා එසේත් නැති නම් යෙහෙළියකු හෝ වේවා, තවත් පිරිමියෙකු ඇය දෙස බලා ඇයගේ අඟ පසඟ දෙස බලා රසවිදිනවනම් හෝ ඇයගේ අඟ පසඟ බලා ඇයට කේලම් හෝ නින්දිත වචන වලින් කතා කරන්නේ නම්. එය එම පිරිමියාට බලාගෙන සිටිය හැකිද? ඔහු එම නින්දිත ක්‍රියාවලියට අනුබල දෙන්නේද ? කිසිසේත්ම නොවේ.

මේ නිසාම අල්ලාහ් දෙවියන් වහන්සේ සැම විටම කාන්තාවකගේ ආරක්ෂාව, ගෞරවය, මූලික අයිතිවාසිකම් රැකීම පිලිබඳ ශුද්ධ වූ අල් කුරාණයෙන් සහ මුහම්මද් නබි තුමන් (PBUH ) විසින්ද හදීස් ග්‍රන්ථ ඔස්සේ නොයෙකුත් අවවාද, විධි විධාන පනවා තිබෙනවා. තම ඇඳුම පමණක් නොව කාන්තාවක් සහ පිරිමියෙක් සමාජයේ හැසිරිය යුතු ආකාරයද ඉස්ලාම් දේශනා කරනවා.

නබිවරය, නුඹගේ භාර්යන්ව්ටද දියණියන්ටද විශ්වාසිකයින්ගේ කාන්තාවන්ටද ඔව්න්ගේ ජිල්බාබයන් ඔව්න් මත (හිසේ සිට) එල්ලන්ට සලස්වන මෙන් පවසව්. එය ඔව්න් හඳුනා ගනු ලැබීමටත් පීඩාවට පත් නොවීමටත් වඩාත් යෝග්‍යය වන්නේය. තවද අල්ලාහ් අති ක්ෂමාශීලී පරම කරුණාවන්ත වන්නේය. (අල් කුරාණය 33:59)

අරාබි ශබ්ද කෝෂයට අනුව “ජිල්බාබ්” යනු කාන්තාවක් තමා දෛනිකව පළඳින වස්ත්‍රයට පිටතින් මුළු ශරීරයම ආවරණය වන අයුරින් පළඳින පරිපුර්ණ වස්ත්‍රයකි. වර්තමාන සමාජයේ බුර්කාව යනුවෙන් හඳුන්වන්නෙත් මෙම “ජිල්බාබය” ටමය. මෙම අර්ථය තහවුරු කරගනිමින් නබි තුමන්ගේ සගයින් සහ ඉස්ලාමිය විද්වතුන්ගේ ප්‍රකාශන කිහිපයක් ඇත. එනම් ,

* ජිල්බාබයේ එක් ඇසක් පමණක් විවෘත වන අයුරින් තම හිස මුදුනේ සිට තම මුහුණ ආවරණය කරගන්නා සේ පැළඳීමබව.

* ඇගේ මුහුණ සහ අත්ලයන් හැර අන් සම්පුර්ණ ශරීරයම බව.

නබිවරයාගේ භාර්යාවනි, නුබලා අනෙක් ස්ත්‍රීන් අතුරින් කිසිම කෙනෙකු මෙන් නොවන්නෝ ය. නුබලා භිය භක්තිමත් වන්නේ නම් අන්‍ය පිරිමින් සමඟ කතා කිරීමෙහි මිහිරි නොවව්. මක්නිසාද යත් කවරෙකුගේ සිතෙහි (නරක සිතුවිළි වලින් යුත්) ව්‍යාධියක් ඇත්තේද ඔහුට එමගින් නුබලා කෙරෙහි ආශාවක් ඇති විය හැකි වන්නේය. තවද නුඹලා මිහිරි බවින් තොර අවශ්‍ය වූ ප්‍රමාණයට නියමිත වදනින් කතා කරව්. (අල් කුරාණය 33:32)

තවද නුඹලා අනවශ්‍ය ලෙස නොසැරිසරා නුඹලාගේ නිවෙස් තුල රැදී සිටිවූ.තවද ආරම්භ අඥාන යුගයේ ස්ත්‍රීන් අලංකාරය හෙළි කළ ආකාරයෙන් නුබලා නුබළාගේ අලංකාරය හෙළි නොකරවු. තවද සලාතය ඉටු කරවූ.තවද සකාතය දෙවු. තවද අල්ලාහ් ට සහ ඔහුගේ රසුල්වරයාට අවනත වවු.(අල් කුරාණය 33:33)

කාන්තාවක් මෙලෙස ආවරණය නොකළ යුත්තේ කව්රුන් ඉදිරියෙද යන්න පෙන්වා දී තිබෙනවා.

භාර්යාවන්  තම පුතුන්ගේ ද තම පියවරුන්ගේ ද සහෝදරයින්ගේ ද තම සහෝදරයින්ගේ පුතුන්ගේ ද තම සහෝදරියන්ගේ පුතුන්ගේ ද තම (විශ්වාසන්ත ) ස්ත්‍රීන්ගේ ද තම දකුණත සතු කරගත් (වහල් ) අයගේද විෂයෙහි තිරයකින් තොරව පෙනී සිටීම වරදක් නොවේ. තවද නුඹලා අල්ලාහ් ට බිය භක්තිමත් වවු. සැබවින්ම අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂි දරන්නා වේ. (අල් කුරාණය (33:55)

නබිවරය ! විශ්වාසිකයින්ට බැලීමට තහනම් දැයින් තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කරගන්නා මෙන් ද පවසවූ. එය ඔවුනට ඉතාමත් පිවිතුරුය. සැබවින්ම අල්ලාහ් ඔවුන් කරන දෑ පිළිබඳව අභිඥානවන්තය. (අල් කුර්ආණය 24:30)

තවද නබිවරය ! විශ්වාසික කාන්තාවන්ට (බැලීමට තහනම් දැයින් ) තමන්ගේ බැල්ම පහත හෙළන මෙන් ද තමන්ගේ ලිංගික අවයව (පාපයන්ගෙන්) ආරක්ෂා කරගන්නා මෙන් ද තමන්ගේ අලංකාරයන් එයින් එළිපිට පෙනෙන දෑ හැර (සෙසු දෑ ) හෙළි නොකරන මෙන් ද තම හිස් ආවරණ මගින් තමන්ගේ ළය පෙදෙස් ද ආවරණය කරන මෙන් ද තමන්ගේ ස්වාමි පුරුෂයින්ටද තමන්ගේ පියවරුන්ටද තම ස්වාමි පුරුෂයින්ගේ පියවරුන්ට ද තම පිරිමි දරුවන්ටද තම ස්වාමි පුරුෂයින්ගේ පිරිමි දරුවන්ටද තම සහෝදරයින්ට ද තම සහෝදරයින්ගේ පිරිමි දරුවන්ට ද තම සහෝදරියන්ගේ පිරිමි දරුවන්ට ද තම කාන්තාවන්ට (මුස්ලිම් කාන්තාවන්) තම දකුණත හිමි කරගත් අයට (වහලුන්ට) ද පිරිමින් අතුරෙන් කාමාෂාවෙන් තොර වූ උපස්ථායකයින්ට ද කාන්තාවන්ගේ රහසඟ පිලිබඳ පැහැදීමක් නොමැති පිරිමි දරුවන් ට ද මිස ( වෙනත් කිසිවෙකුට) තම අලංකාරය හෙළි නොදක්වන මෙන් ද ඔවුන් සඟවා ඇති ඔවුන්ගේ අලංකාර දෑ (අන් අය විසින් ) දැනගනු ලබන ආකාරයට තම පාද නොගසන මෙන් ද පවසව්. තවද අහෝ විශ්වාසිකයිනි, නුඹලා ජයග්‍රහණය ලබනු පිණිස නුඹලා සියල්ලෝම අල්ලාහ් වෙත පශ්තාත්තාප වී යොමු වවු.( අල් කුර්ආණය 24:31)

ඉස්ලාම් ආගමට අනුව කාන්තාවකට සමාජයට නිරාවරණය වීමේදී සුවඳ විලවුන් පවා තැවරීම තහනම්. එයට හේතුව එම සුවඳ විලවුන් තුළින් එන සුවඳෙන් හෝ අන් පුරුෂයෙකුට ඇය කෙරෙහි ආශාවක් හෝ කාමුක හැගීමක් ඇති වීම වැලක්වීමට ය. එසේ නම් කාන්තාවක් තම අඟ පසඟ නොපෙනෙන පරිදි, වෙනත් පිරිමියෙකුට කාමුක ආශාවක් නොවන පරිදි තම ඇඳුම් පැළඳිය යුතුය.

සාමාන්‍යයෙන් කාන්තාවක් මවා ඇත්තේ ආකර්ෂණීය ලෙසය. මෙය හුදෙක් මිනිසුන් අතර පමණක් නොව සතුන් අතරද පොදුය. ඕනෑම පුරුෂයෙකුට එක් කාන්තාවක් අඟ පසඟ පෙනෙන ආකාරයෙන් සිටි නම් ඔහුට කාම ආශාවක් අනිවාර්යෙන් ඇති වේ. මෙය සැගවිය නොහැකි ගුප්ත සත්‍යකි. මෙලෙස තම ඉච්චානුගත හැගීම් වලට යටත් නොවී තම හැගීම් පාලනය කොට යහ මග වෙත නැඹුරු වීම පිරිමියා සතු වගකීම වන අතර එලෙසෙ කාමුක හැගීමක් නොවන සේ හැසිරීම සහ ඇඳුම් පැළදීම කාන්තාවකගේ වගකීමක් වන බව ඉස්ලාම් අවධාරණය කරනවා

ඔබට ඔබේ දරුවා දැරුවෙක්‌ වුවද, ඔබේ බිරිඳ ආදරණීය බිරිඳක් වුවද සමාජයේ සිටින නරුමයෙකුට ඇය හුදෙක් භාණ්ඩයකි. මෙයද තිත්ත ඇත්ත කි.

එම නිසා ඔබගේ භාරකරිත්වයේ සිටින කාන්තාව රැකගැනීම, ඇගේ ගෞරවය රැකගැනීම ඔබේ පරම වගකීමකි. එපමණක් නොව ඇය නින්දිත ලෙස පාරේ ඇඳගෙන යාම නිසා ඔබේ පව්ලටද සිදුවන නින්දිත භාවයද රැකගැනීම එම කාන්තාවගේත් ඇගේ භාරකරිත්වයේ සිටින ඔබෙත් වගකීමකි.

කාන්තාවකගේ ගෞරවය, ආරක්ෂාව, මුලික අයිතිවාසිකම රැකීම ඇගේ භාරකාරයන් වන දෙමව්පියන්, ස්වාමි පුරුෂයන් සහ සහෝදරයන්ගේ වගකීමක් බවද ඉස්ලාම් අවධාරණය කරනවා. කාන්තාවක් පිළිබඳ ඉස්ලාමයේ දරන මතය සහ ඇයට අල් කුරාණය සහ හදීස් තුළින් ලබා දී ඇති ස්ථානය පිලිබඳ වෙනම පරිච්චේදයක් නුදුරේම ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමු. 

එනම් කාන්තාවක් සමාජයට නිරාවරණය වීමේදී ඉහත කොන්දේසි 2න් කැමති එකක් තෝරා ගැනීමට කාන්තාවට නිදහස ඇත . එම කොන්දේසි වලට යටත් කාන්තාවකට ඇඳිය හැකි ඇඳුම් ප්‍රධාන වර්ග 3ක් තිබෙනවා.ඒවා නම් හිජාබය, නිකාබය සහ බුර්කාව වේ. ඒවා පහත පින්තුරයේ පරිදි වේ.

මෙහිදී කාන්තාවකට තමන්ගේ කැමැත්ත පරිදි තමන්ගේ ආරක්ෂාව, ගෞරවය, සහ පහසුව අනුව තෝරාගත හැක.

ඉහත පෙන්වා ඇති බුද්ධ භික්ෂු කාන්තාව සහ ක්‍රිස්තියානි පූජකවරිය ගේ ඇඳුම් බැලූ කළ නිගමනය වන්නේ කුමක්ද? එනම් අනෙකුත් ආගම් තුලින්ද කාන්තාවක් තම ශරීරය සම්පුර්ණයෙන් වැසෙන සේ තම ඇඳුම් පැළදිය යුතු බව නොවේද? එනම් වෙනසකට තිබෙන්නේ අනෙක් ආගම් වල පුජකවරියන් පමණක් තම ආගමට අනුගතවී සිටින අතර සාමන්‍යය කාන්තාවන් එය නොසලකිල්ලකට ගෙන ඇති බවත් මුස්ලිම් සියලු කාන්තාවන් තම ආගමට අනුගතව තම සාමාන්‍ය ජීවිතය පවත් වා ගෙන යන බව ය. මේ නිසාම අද මුස්ලිම් සමාජය වෙනම කෝණයකින් බැලීමට සමාජය හුරු වී ඇත. මෙය වරදක් ද යන්න අප අපගේ සහෝදර සහෝදරියන්ගෙන් විමසීමට කැමැත්තෙමු. සියලු ආගම් සාස්තෘ වරුන් තම ආගම ප්‍රචාරය කළේ පුජකවරුන්ට පමණක් ආගමට අනුගත වී ජීවත් වීමට නොව සමස්ත ජන වර්ගයාටම එයට අනුගත වන ලෙසය.

බුදු දහමේ මතය

(මහාචාර්ය රේරුකානේ චන්දවිමල මහනාහිමි විසින් ලියන ලද “බුද්ධ නීති සංග්‍රහය” ග්‍රන්ථයේ 154 පිටුවෙන් උපුටා ගන්නා ලදී.

අර්ථය

ස්ත්‍රීන් විසින් තම සැමියාට වරද කරන කරුණු නවය

  • සැමියාගේ අවසරයක් නොමැතිව ආරාමයට යන්නාවූ ද
  • සැමියාගේ අවසරයක් නොමැතිව උයන් වලට යන්නා වුද
  • සැමියාගේ අවසරයක් නොමැතිව ගංගා සමීපයට යන්නාවූ ද
  • සැමියාගේ අවසරයක් නොමැතිව නෑ ගෙවලට යන්නා වූ ද
  • සැමියාගේ අවසරයක් නොමැතිව අනුන්ගේ ගෙවලට යන්නාවූ ද
  • වස්ත්‍ර අලංකාර කිරීමෙහි යෙදෙන්නාවූ ද
  • මත් පැන් පානය කරන්නාවූ ද
  • නිතර කවුළු ආදියෙන් පිටත බලන්නා වූ ද
  • තමාගේ අවයව දක්වමින් දොරකඩ වෙසෙන්නා වූ ද ස්ත්‍රීහු මෙම කරුණු නවයෙන් සැමියාට වරද කෙරෙති.

කිතුනු දහමේ මතය

ඔබගේ අලංකාරය , කොණ්ඩා මොස්තරද , රන් රිදී ආභරණද , ඇඳුම් පැළඳුම් ද , යන බාහිර දේ පිට රඳා නොතිබිය යුතුය. එය පෙන්විය යුත්තේ අභ්‍යන්තරයෙහි, හදවතින් නගින කාරුණික තැන්පත් ගති පැවතුම් මගිනි. (1 පේදුරු 3:3-4)

බුර්කාවේ ඉතිහාසය

සමාජය සිතන්නේ බුර්කාව යනු නබි තුමන්ගේ ආගමනය සහ කුරාණය පහළ වීමත් සමඟ පහළ වූ අන්තවාදී අදහසක් බවය. නමුත් මෙම බුර්කාව අල් කුරාණය පහළ වීමටත් පෙර සිටම ඈත අතීතයේ සිටම ක්‍රිස්තියානි සංස්කෘතිය තුළ පවා පැවත එන සාම්ප්‍රදායකයක් බවට ලෝක ඉතිහාසය සාක්ෂි දරනවා.

බයිබලය අනුව “උප්පත්ති ’38-14′ හි තාමර් විසින්ද “උත්පත්ති 24-65′ හි රෙබෙකා විසින්ද ජාකොබ්ගේ හා ආබ්‍රහම්ගේ ලේලිවරයන් විසින්ද මුහුණු ආවරණ පැළදී බවට සාක්ෂි ඇත. තවද ඉස්ලාමයට බොහෝ කලකටම පෙරම ඊජිප්තු , අරාබියානු , කනාන් ප්‍රදේශවාසීන් හා පර්සියානු කාන්තාවන් හිස සහ මුහුණ සම්පුර්ණයෙන් වැසෙන පරිදි ආවරණයක් පැළදි බව ක්‍රි.ව. පළමු ශත වර්ෂයේ ග්‍රීක ගෝලීය ශාශ්ත්‍ර ස්ට්‍රාබෝ (Strabo) විසින් සකස් කරන ලද  ලේඛනයේ සහ තුන්වන සතවර්ශයේ ආරම්භක වකවානුවේ විසූ කිතුණු ලේඛක ටර්ටුලියන් (Tertulian) විසින් සකස් කරන ලද ” කන්‍යාවන්ගේ මුහුණ ආවරණය කිරීම” යන අර්ථය ඇති (The Veiling of Vergins ) නැමති ග්‍රන්ථයේ සඳහන් කොට ඇත. ස්ත්‍රීන් මුහුණ ආවරණය කිරීම සහ හා පිරිමින් සමඟ මිශ්‍ර නොවී කටයුතු කිරීම ක්‍රි.පූ. 300 දී පමණ ග්‍රීක රටේහි ආරම්භ වූ බවට තොරතුරු ඇති අතර පර්සියාවේ බෛසන්තියානු පාලන යුගයේද මෙම සම්ප්‍රදාය පැවත ඇත. මෙම සමාජයේ ප්‍රභූ ස්ත්‍රීන් සාමාන්‍ය ජනයා සමඟ මිශ්‍ර වී කටයුතු නොකළ අතර ස්ත්‍රීන් නිවසින් බැහැර වන විට තමන්ව හඳුනාගත නොහැකි වන පරිදි ආවරණය කර ගැනීම සම්ප්‍රදායක්ව පැවතියේය. නුදුරු නැගනහිර ප්‍රදේශයේ විසූ ඇසිරියන් රජවරු ස්ත්‍රීන් බාහිර පිරිමීන්ගෙන් වෙන්ව සිටිය යුතු බවත් අන්තපුර ස්ත්‍රීන් මුහුණු ආවරණය පැළඳිය යුතු බවත් නියෝග කොට තිබු බව හා නාගරික ස්ත්‍රීන් මුහුණු ආවරණයක් පැළදී අතර ගම්බද ස්ත්‍රීන් එසේ නොකළ බව ඉතිහාසය පෙන්වා දෙයි.

නීතිය කාන්තාවන්ට පමණක්ද?

මෙම පරිච්චේදය කියවන අපගේ කාන්තා පාඨකයින් හට තව ප්‍රශ්නයක් මතුවිය හැක. එනම් කාන්තාවන්ට පමණක් ඇයි මෙතරම් නීති. පිරිමින්ට නැද්ද ?” කියා. අනිවාර්යෙන්ම පිරිමින්ටද එලෙසම බලපානවා.

ඉස්ලාමයේ පොදුවේ කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම ඇඳුම් පැළදීමේදී පිළිපැදිය යුතු කොන්දේසි 6ක් තිබෙනවා . ඒවා නම්

  1. පුරුශයින් අවම වශයෙන් නාභියේ සිට දණහිස දක්වා වැසීම අනිවාර්ය වේ. ස්ත්‍රීන් සඳහා මුහුණ හා දෑතේ (අත්ලේ) මැණික් කටුව දක්වා හැර සම්පුර්ණ ශරීරයම වැසීම් අනිවාර්ය වේ. නිරාවරණය කළ හැකි මෙම පෙදෙස් ද ස්ත්‍රීන් ගේ කැමැත්ත මත ආවරණය කර ගත හැක. සමහර විද්වතුන්ගේ මතය අනුව මෙම කොටස්ද ආවරණය කිරීම අනිවාර්ය වේ.

2. ඇඳුම බුරුල් ව තිබිය යුතු අතර ශරීරයේ හැඩය විදහා දක්වන සේ නොතිබිය යුතුය. (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය)
3. ශරීරය විනිවිද නොපෙනෙන සේ ඇඳුම තිබිය යුතුය. (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය)
4. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේ (ස්ත්‍රී පුරුෂ) ආකර්ෂණයට ලක් නොවන පරිදි ඇඳුම මනමොහනීයත්වයකින් නොවිය යුතුය. (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය)
5. ප්‍රතිවිරුද්ධ පාර්ශ්වයේඇඳුම හා සම නොවිය යුතුය. (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය)
6. ඉස්ලාම් නොවන ආගමිකයන්ගේ ආගමිත්වය සංකේතවත් කරන ඇඳුම් නොඇඳිය යුතුය. (ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පොදුය)

මුහම්මද් නබි තුමා (PBUH ) ප්‍රකාශ කළ බව අබු හුරෛරා (රලි ) විසින් දන්වන ලදී. කුමන ඇඳුමක් විලුඹට පහළින් ඇදෙන්නේ ද ඔහු අපායට අයත් වන්නේය.” (හදීස් මුලාශ්‍රය – බුහාරි, මුස්ලීම් )

නමුත් බුර්කාව පැළඳීම රාජ්‍ය නීතියට පටහැනි නොවේ ද?

කුමන රාජ්‍යයක මෙම මුහුණ ආවරණය කරන ලෙස කාන්තාවක් පැළඳ සිටීම නීතියෙන් තහනම් කර තිබේ නම් එලෙස බුර්කාව පැලදීම ඉස්ලාමයේ තහනම් බව ඉස්ලාම් තදින්ම අවධාරණය කරනවා. 

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. “නුඹලා නීතිගරුක වන්න. නියතවශයෙන්ම අල්ලාහ් නීතියට ගරුකරන අයට ආදරය කරයි” (අල් කුරාණය 49:9)

ඕනැම පුද්ගලයෙකු පළමුවෙන්ම තම මව් රටට ආදරය කර යුතු අතර රටේ නීතියට පළමුවෙන්ම අනුගත විය යුතු බව ඉස්ලාම් අවවාද කරනවා. නමුත් බුර්කාව පැළදීමේ පරමාර්ථය ඔබට හොඳින් වැටහී ඇති බව අපි විශ්වාස කරනවා.මේ පිළිබඳ ඔබගේ අදහස් පහතින් comment කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මේ ඉහත කී සියලු කරුණු අධ්‍යනය කළ විට සෑම ආගමක්ම කාන්තාවකගේ ඇඳුම සම්බන්ධව දක්වන්නේ සමාන මතයක් වන අතර ඉස්ලාමයේ කාන්තාවගේ වැඩි ආරක්ෂාව හා ගෞරවය පිණිස බුර්කාව, හා නිකාබය විකල්පයක් වශයෙන් හදුන්වා දී ඇති අතර මේ තුළින් කිසිදු අන්තවාදී අදහසක් හෝ මතයක් නොදරන බව කාරුණිකව සඳහන් කරමු.

විශේෂ ස්තූතිය – ශ්‍රී ලංකා ඉස්ලාමීය විද්වත් මණ්ඩලය වන ජමියතුල් උලමා සංගමයේ නිළ වෙබ් අඩවිය. https://acju.lk/en/publications

50% LikesVS
50% Dislikes

Share කරන්න