Share කරන්න

උපවාසය හෙවත් සාමාන්‍ය ව්‍යවහාරයේ අනුව නෝම්බි ඇල්ලීම යන පුණ්‍යම ක්‍රියාව ගැන ඔබ හොදින් දැක අසා ඇත. නමුත් මෙම පරිච්චේදයෙන් ඉස්ලාමයේ උපවාසයට ලැබෙන තැන , උපවාසයෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ මිනිසාගෙන් බලාපොරොත්තු වන්නේ කුමක්ද, උපවාසය නිසා මිනිසාට ලැබෙන ප්‍රතිලාබය කුමක්ද , උපවාසය කල යුත්තේ කිනම් කාලවලද යන්න ගැඹුරු විග්‍රහක් කිරීමට බලාපොරොත්තු වෙමු.

1.උපවාසය රකින ක්‍රමය.

උපවාස රැකීමට බලාපොරොත්තු වන පුද්ගලයෙකු පළමුවෙන්ම පෙර දින ඒ සඳහා අධිෂ්ඨානය කර ගත යුතුය. පසුව උපවාසය කරන දින හිමිදිරි උදයේ සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් පාන්දර 4:30 ට පෙර ආහාර අනුභවය කළ යුතුය. හිමිදිරි උදයේ නැමදුමට යෙදී ඇති වෙලාව පැමිණීමත් සමඟ තම ආහාර අනුභවය නැවැත්විය යුතුය. පසුව හවස් වරුවේ හිරු බැස යාමත් සමඟ එනම් ශ්‍රී ලංකාවේ වේලාවෙන් සාමාන්‍යයෙන් 6:30 පමණ නැවතත් ආහාර අනුභව කිරීමෙන් උපවාසය හැරිය යුතුය. මෙම කාල වකවානුව අතරතුර වතුර හෝ පානය කිරීම තහනම්. තවද තමන් උපවාස කරන දිනයේ පාප ක්‍රියාවල යෙදීම ද තහනම් වන අතර එලෙස පාප ක්‍රියා කරමින් කරන උපවාසයෙන් කිසිදු ප්‍රතිලාබයක් නොලැබේ. තවද අනෙකුත් දිනයන්ට සාපේක්ෂව උපවාස කරන දිනයන් වලදී දාන වැළඳීම , අල් කුරාණය පාරයනය කිරීම, නැමදුම් වැනි පුණ්‍යම ක්‍රියාවන් ද ඉතා අධික ලෙස සිදු කරනවා.

2.උපවාස වර්ග

ඉස්ලාමයේ උපවාසය කොටස් දෙකකට බෙදෙනු ලැබේ. එනම් අනිවාර්ය වන උපවාසය සහ අනිවාර්ය නොවන උපවාසය වේ.


2.1. අනිවාර්ය නොවන උපවාසය,(සුන්නත් වූ උපවාසය )

රමළාන් මාසය හැරුණු කොට අනෙකුත් සියලු මාසයන් වල රකින උපවාසයන් අනිවාර්ය නොවන උපවාසයන් වේ. රමළාන් මාසය හැරුණු කොට අනෙක් මාසයන් වලදී ද ඉස්ලාමය උපවාසය රැකීමට අවවාද කරනවා. නමුත් මේ කිසිවක් අනිවාර්ය නොවේ. උදාහරණයක් වශයෙන් අපගේ හජ්ජි උත්සවයට පෙර දවස් 9 ම උපවාසය කිරීම, සෑම මසකම ඉස්ලාමිය දින දර්ශනය අනුව 13,14,15 යන දිනයන්හි උපවාසය ඇල්ලීම යහපත් යැයි ඉස්ලාමය පවසනවා. ෂහ්බාන් මස අධිකව උපවාසයේ රැකීම යනාදී තවත් විශේෂිත දින කිහිපයක් උපවාසය කිරීම සඳහා යොදා තිබෙනවා. තවද තමන්ට යම් කාර්යක් හොදින් ඉෂ්ඨ වීම සඳහාත් රෝග වලින් නිවාරණය ලබා ගැනීම සඳහා බාරයක් වශයෙන්ද උපවාසය රැකිය හැක.

2.2 අනිවාර්ය උපවාසය. (ෆර්ලු වූ උපවාසය )

සාමාන්‍ය ව්‍යවහාරයේ අනුව පවසන නෝම්බි මාසය හෙවත් ඉස්ලාමීය හිජ්රි දින දර්ශණයේ “රමලාන්” නැමති මාසයට යෙදී ඇති උපවාසය අනිවාර්ය උපවාසය නම් වේ. මෙම උපවාසය සැම මුස්ලිම් වරයෙකුට අනිවාර්ය වන අතර මෙය නොසලකා හරින කෙනෙකුව අල්ලාහ් දෙවියන් වහන්සේ මුස්ලිම් වරයෙකු ලෙස පිළිගන්නේද නැත. මුස්ලිම් වරයෙකු තම ජීවිත කාළය තුළදී අල්ලාහ් දෙවියන් වහන්සේට කළ යුතු වගකීම් 5න් මෙම රමළාන් මාසයෙ උපවාසයේ යෙදීමත් ඉන් එකකි. වයස 10ට වැඩි සියළු පුද්ගලයින්ට මෙය අනිවාර්ය වන අතර 10න් පහළ දරුවන්ට අනිවාර්ය නොවේ.

නමුත් යම් විද්‍යාත්මක හේතුන් මත සමහරක් ඛාණ්ඩයන්ට මෙම උපවාසය මග හැරීමට ඉස්ලාමය අවසර දී තිබෙනවා.

උපවාසය මග හැරීමට අවස්ථා

  1. රෝගීන් හා සංචාරයේ යෙදෙන්නන්

සෞක්‍යමය හේතුන් මත අනිවාර්යෙන් ආහාර හෝ බෙහෙත් අනිවාර්ය වූ අය මෙයට ඇතුලත්ය. යම් පුද්ගලයෙකු නිරාහාරව සිටීම හෝ බෙහෙත් නොලබා සිටීම ඔහුගේ ජීවිතයට හානිකර නම් ඔහුට මෙම අනිවාර්ය උපවාසය මග හැරිය හැක. නමුත් යම් දිනයක ඔහු සුව අතට පත් වූ පසු එනම් ඔහුට ඉහත කී පරිදි අවදානමක් නැති අවස්තාවක ඔහු එම මග හැරුණු උපවාසයන් රමළාන් නොවන අනෙක් මාසයන් වළදී රැකිය යුතුය. එසේ සුව නොවුනේ නම් එක් උපවාසයකට පුද්ගලයින් 2 බැගින් දුප්පතුන් සඳහා කෑම වේළක් දිය යුතුය.

එමෙන්ම ගමන් බිමන් වල යෙදෙන්නන්ටද ඉහත සහනය එලෙසම වලංගුය. එය එසේ ලබා දීමෙන් අල්ලාහ් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නේ උපවාසය ජනයාට පහසුවක් වශයෙන් හැඟෙනු පිණිසය.

උපවාසය නියමිත දිනයන්හි ය. තවද නුඹලා අතුරින් කවරෙකු රෝගියෙකුව හෝ ගමනක සිටින්නේ නම් (අතපසු වූ උපවාස ශීලය ඉටු කිරීම සඳහා ) වෙනත් දිනයන් ගණනයට ගත යුතුය. එසේත් නොහැකි නම් වන්දියක් ඇත. එනම් දුගියෙකුට ආහාර ලබා දීමය. යමෙකු ස්වේච්චාවෙන්ම යහකම් අතිරික්තව කරන්නේ ද එය ඔහුට යහපත් වන්නේය. තවද නුඹලා උපවාස ශීලයේ නියැළීම නුඹලාට යහපත් ය. නුඹලා දැන සිටින්නේ නම්! (අල් කුර්ආනය 2:184)

රමළාන් මාසය , එහි අල් කුර්ආනය, ජනයාට මග පෙන්වීමක් වශයෙන් හා යහමගින් වූ ද (සත්‍ය හා අසත්‍යය අතරෙහි ) නිර්ණායකයෙන් වූ ද පැහැදිලි සංඥා වශයෙන්ද පහළ කරනු ලැබීය. නුඹලාගෙන් කවරකු එම මසට සම්මුඛ වන්නේ ද ඔහු එම මසෙහි උපවාස ශීලයේ යෙදිය යුතුය. කවරෙකු රෝගීයෙකුව හෝ ගමනක සිටින්නේ නම් හෝ අතපසු වූ උපවාස ශීලය ඉටු කිරීම සඳහා වෙනත් දිනයන් ගණනයට ගත යුතුය. අල්ලාහ් නුඹලාට පහසුව අපේක්ෂා කරන අතර නුඹලාට දුෂ්කරතාවය අපේක්ෂා නොකරයි. අතපසු වූ එම දින ගණන් නුඹලා සම්පුර්ණ කරනු පිණිස ද නුඹලාට යහමග පෙන්වූ හෙයින් අල්ලාහ් ට ශ්‍රේෂ්ඨමත් කිරීම පිණිස ද නුඹලා කෘතවේදී විය හැකිවනු පිණිසද වෙනත් දින වල උපවාස ශීලයේ යෙදීමේ සහනය ලැබීය. (අල් කුර්ආනය 2:184-185)

2. කාන්තාවන් ගේ ඔසප් දිනයන් වල

කාන්තා ඔසප් දිනයන් හිදී හා ලේ ගැලීම් සිදුවන වකවානුවේ දී ඇය ශාරීරිකව දුර්වල වන නිසා යම් හෙයකින් රමළාන් මාසයේ කාන්තාවකට මෙම අවස්තාවන් දෙකෙන් එකකට හෝ මුහුණ දීමට සිදු වුවහොත් ඇය අනිවාර්යෙන් උපවාසය කඩ කර යුතු අතර මෙම වකවානු දෙක තුල ඇයට උපවාසය කිරීම තහනම් බව මුහම්මද් නබි තුමා (PBUH ) විසින් සහිහ් හා බුහාරි යන හදීස් ග්‍රන්ථ දෙක තුලින් පෙන්වා දී තිබෙනවා.


3. ගර්භණී මව්වරුන් හා කිරි දෙන මව්වරුන්

කාන්තාවක් ගර්භණී අවස්තාව හා කිරි දෙන වකවානුවන් යන අවස්තාවන් දෙකම රෝගී තත්වයක් බැවින් ඉහත සඳහන් අල් කුරාණයේ පනත මෙම අවස්තාවන් දෙකටත් වලංගු බව ඉස්ලාමීය විද්වතුන් පෙන්වා දෙනවා. එමෙන්ම මෙම අවස්තාවන් දෙකහි දීම අනිවාර්ය උපවාසය මග හැරිය හැකි බව ඉබ්නු මාජා හදීස් ග්‍රන්ථයේ 1667 හි හා සුන්නාහ් අල් නසාඉ 2274 යන හදීස් වගන්ති තුළින් මුහම්මද් නබි තුමා විසින් තහවුරු කර ඇත. නමුත් ඔව්න් සුව වූ කාලයක අනිවාර්යෙන් එම අතපසු වූ උපවාසයන් රැකිය යුතුය. එසේ නොමැති නම් ඉහත සඳහන් (අල් කුර්ආනය 2:184-185) වූ වන්දිය ගෙවිය යුතුය.

4. වයසක පුද්ගලයින්

යම් වයසක පුද්ගලයෙකු ශාරීරිකව දුබලයි නම් ඔහුටද මෙම රමළාන් මාසයේ යෙදී ඇති අනිවාර්ය උපවාසය මග හැරිය හැක. නමුත් ඉහත (අල් කුර්ආනය 2:184-185) පරිදි වන්දිය ඒ වෙනුවෙන් ඉෂ්ඨ කල යුතුය.

3.උපවාසයේ පරමාර්ථය

“විශ්වාස කළවුනි, නුඹලා බිය භක්තිමත් වීම පිණිස නුඹලාට පෙර වුවනට අනිවාර්යය කරනු ලැබුවාක් මෙන් නුඹලා කෙරෙහි ද උපවාස ශීලය අනිවාර්යය කරනු ලැබ ඇත. (අල් කුරාණය 2:183).

ඉහත ශුද්ධ වූ අල් කුර්ආණයේ වැකිය අනුව ගම්‍යය වන්නේ අල්ලාහ් දෙවියන් වහන්සේ රමළාන් මාසය තුළින් බලාපොරොත්තු වන්නේ උපවාසය රැකීමටත් වඩා මිනිසා භිය භක්තිමත් වීමය. සාගින්නේ සිටින්නාක් සේම පවින් මිදී යහමග දෙස හැරවීමය.

එම නිසා මෙම උපවාසය වලංගු වීමට නම් ප්‍රධාන කොන්දේසි තුනක් අඩංගුය. එනම් ,

  • තමන් කරන සියළු යහ ක්‍රියාවන් සමාජයේ හෝ තවත් පුද්ගලයෙකුගේ පැසසුම බලාපොරොත්තු නොවී අල්ලාහ් දෙවියන් වහන්සේගේ ආදරය හා තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් සිදු කල යුතුය.
  • නියමිත කාලය තුළදී ආහාර හෝ බීම අනුභවයෙන් වැළකී සිටිය යුතුය.
  • සියළු පව් වලින් වැළකී සිටිය යුතු අතර අනවශ්‍යය ලෙස නිකරුණේ කාළය නාස්ති නොකොට ශුද්ධ වූ අල් කුරාණය පාරාණය කිරීම, සලාතයේ නිරත වීම, බණ දේශනා වලට සවන් දීම , වෙනත් දන් දීම් ආදී කටයුතු වලට දායක වීම, අධික ලෙස පව් සමා කරගැනීම , යනාදී යහ ක්‍රියාවන් වල යෙදිය යුතුය.

මිනිසා කරන කිසිම පිනක් නිසා අල්ලාහ් දෙවියන් වහන්සේට කිසිම ප්‍රයෝජනයක් නොමැත. එසේම මිනිසා කරන කිසිම පවක් නිසා අල්ලාහ් දෙවියන් වහන්සේට කිසිම අලාභයක්ද නොමැත. යම් පුද්ගලයෙකු යහපත් කෙනෙකු වුවත් අයහපත් කෙනෙකු වුවත් අල්ලාහ් දෙවියන් වහන්සේට එයින් කිසිම බලපෑමක් නොමැත. නමුත් අල්ලාහ් දෙවියන් වහන්සේ මිනිසා කෙරෙහි ඇති අප්‍රමාණවත් ආදරය නිසාම ඔහු මිනිසා ස්වර්ගයටම යා යුතුයි යන්න ඔහුගේ කැමැත්ත වේ. මේ හේතුව නිසාම තමයි නොයෙකුත් නැමදුම් හා නීති රීති ශුද්ධ වූ අල් කුර්ආණය හරහා මග පෙන්වා ඇත. මෙම නීති රීතින් පිළිපැදීම නිසා එයින් ප්‍රයෝජන ලබන්නේ මිනිසාමය. එමෙන්ම නීති කඩමින් අලාභ වන්නේද මිනිසාටමය.

උපවාසය මගින් විශේෂයෙන්ම රමළාන් උපවාසය තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ බලාපොරොත්තු වන්නේ යහපත් පුද්ගලයෙකු බවට පරිවර්තනය වීම පමණක් වුවද , මෙම උපවාසය නිසා මිනිසාට සහ සමාජයට අත් වන ප්‍රයෝජන බොහොමයන්ය. මෙම ප්‍රයෝජනයන් ආධ්‍යාත්මික, ශාරීරික, හා මානසිකව යනුවෙන් ඛාණ්ඩ 3කට ඉස්ලාමීය විද්වතුන් බෙදා හැර දක්වනවා.

4.උපවාසයෙන් ලැබෙන ප්‍රතිලා

4.1 ශාරීරිකව ලැබෙන ප්‍රතිලාභ ,

  • ස්ථූල භාවය අඩු වීම
  • ආහාර ජීරණ පද්ධතියට විවේකයක් ලැබීම මගින් ශරීරය නිරෝගී වීම
  • ශරීරයේ රුධිර සීනි මට්ටම පහළ බැසීම හා ඉන්සුලින් මට්ටම ස්ථාවරව තැබීම
  • ශරීරයේ අයහපත් කොලෙස්ටරෝල් අඩු වීම.
  • ප්‍රතිශක්තීකරණ ක්‍රියාවලිය නැංවීම
  • ශරීර ආයුෂ වැඩි වීම
  • අධික රුධිර පීඩනය සමනය කිරීම
  • මොළයේ ක්‍රියාකාරිත්වය වැඩි කිරීම හා ආරක්ෂා කිරීම
  • හර්ද ස්පන්දනය පාලනය කිරීම හා සමනය කිරීම
  • අග්න්‍යාශයේ ගල් තැන්පත්වීම අඩුකිරීම සඳහා සහය වීම
  • T- CELLS (සෛල) නිෂ්පාදනය වැඩි වීම සඳහා සහය වීම හා එමගින් ශරීරයේ පිළිකා සෛලවලට එරෙහිව ක්‍රියා කිරීම
  • විෂ කාරක, හා බැක්ටීරියා රෝග කාරක ක්‍රියාවලින් ශරීරය ආරක්ෂා කිරීම හා ඒවා ශරීරයෙන් බැහැර කිරීම.

4.2 මානසිකව ලැබෙන ප්‍රතිලාභ

උපවාස සමයේදී පාප ක්‍රියාවන් වල යෙදීම එම උපවාසයම නිෂ්ඵල වෙනවා. එනම් යම් පුද්ගලයෙකු උපවාස සමයේදී සාමාන්‍ය පරිදි තම පාප ක්‍රියාවන් වල යෙදී සිටින්නේ නම් ඔහු හුදෙක් බඩගින්නේ සිටීම මිසක් වෙන කිසිදු ඵලක් නොලැබේ. මෙම සමයෙදී යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකු කෙරෙහි යම් ක්‍රෝධයක් , වෛරයක් , ඊර්ෂ්‍යාවක් තබා ඇත්තේ නම් වහාම ඒවා නැති කර ගත යුතුය. විශේෂයෙන්ම දෙමව්පියන් කෙරෙහි යම් අමනාපයක් තිබේ නම් අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් එම අමනාපයන් දුරු කොට සමාදානය විය යුතුය. තවද මෙම කාල වකවානුව තුළ කරන දාන ධර්මයන් සඳහා අල්ලාහ් දෙවියන් විසින් අනෙකුත් කාලයන්ට වඩා අධික ලෙස පින් ප්‍රධානය කරනු අතර එමගින් ඔහුගේ ජීවිතයේ සෞභාග්‍යය වැඩි කරන බවද ජීවිතයේ සහනය ලබා දෙන බවද පවසා ඇත. මෙවන් යහ ක්‍රියාවන් නිසා තම මනසේ ශාන්තියක් , සහනයක් ඇති වෙනවා.

4.3 ආධ්‍යාත්මික ප්‍රතිලාභ

අනෙකුත් කාළයන්ට වඩා උපවාස සමයේ පුද්ගලයෙකු කරන යහ ක්‍රියාවන්ට අධික ලෙස පින් අත් වෙනවා.තවද අනවශ්‍යය ලෙස නිකරුනේ කාලය ගත කිරීම නොකොට, චිත්‍රපට, සංගීතයන් ආදීන් වලින් මිදී අධික ලෙස අල් කුරාණය පාරයනය කිරීමට හා අනෙකුත් නැමදුම් කටයුතු වල හා අධික ලෙස පව් සමා කර ගන්නා ලෙසද අල්ලාහ් දෙවියන් වහන්සේ හා ඔහුගේ දූතය වන මුහම්මද් නබි තුමාණන් ද අවවාද කරනවා. එලෙස නිකරුණේ නිෂ්ඵල දේවල් සඳහා කාලය ගත කිරීමෙන්ද රමළාන් මස උපවාසය නිෂ්ඵල වන බව සඳහන් වනවා. මෙම නිසා මිනිසා පාප ක්‍රියාවන් හා නිෂ්ඵල ක්‍රියාවන් වලින් මිදී පින් අධික කර ගැනීමට නැඹුරු වෙනවා. එමගින් මිනිසා ආධ්යාත්මිකවද සුවයක් ලබන අතර ඔහු ස්වර්ගයටද හිමිකම් කියනවා.

මුහම්මද් නබි තුමා පැවසු බව අබු හුරෛරා දන්වයි. “කවරෙකු පවිත්‍ර වූ චේතනාවකින් ( අල්ලාහ් දෙවියන් වහන්සේගේ තෘප්තිය පමණක් බලාපොරොත්තුවෙන් ) රමළාන් මාසයේ උපවාසය රකින්නේ ද ඔහු පෙර කළ සියළු පව් වලට සමාව ලැබේ”. ( සහිහ් බුහාරි : 2:37)

4.4 සමාජයට අත් වන ප්‍රතිලාභ

රමළාන් මස උපවාසය යනු ලෝක වාසීන් සියලු දෙනාටම පොදු වූ නීතියක්. මෙම නීතියට දුප්පත් පොහොසත්, කුල බේද, වර්ණ බේද කිසිවක් අදාළ නැත. ලොව ධනවත්ම පුද්ගලයාටත් දුගී පුද්ගලයාටත් ඇත්තේ එකම නීතියක්. ධනවත් පුද්ගලයා වුවද බඩගින්නේ සිටිය යුතුය. එම නිසා දුප්පතාගේ බඩගින්න ධනවතාටද හැගීමක් මෙයින් සිදු වෙනවා. දාන ධර්මයන්ට අධික ලෙස පින් ලැබීම නිසාමත් දුගී පොහොසත් බේදය මනසින් දුරු වෙනවා. කෙනෙක් අනෙකාට ආහාර බෙදා ගනිමින් තම සහජීවනය වර්ධනය කර ගන්නවා.

4.4.1 zසකාතය ( දුප්පතුන් සඳහා අනිවාර්ය වූ දානය) පිරිනැමීම

ධනවතෙකු වසරකට වරක් ඔහු සතු වත්කම ගණනය කොට එම වටිනාකමින් 2.5% දුප්පතුන් සඳහා බෙදා දිය යුතුය. මෙය ධනවතෙකුට අනිවාර්ය වගකීමක්. පුද්ගලයෙකු අල්ලාහ් දෙවියන් වහන්සේට කර යුතු වගකීම් 5න් මෙයද එකක්. මෙම වාර්ෂික අනිවාර්ය දන් දීම සිදු කරන්නේ ද මෙම රමළාන් මාසයේය.මෙමගින් සමාජයේ දුගී භාවයද දුරු වෙනවා පමණක් නොව අපරාධයන් ද අඩු වෙනවා.

යම් පුද්ගලයෙකු එක් වර්ෂයක සඳහා නියමිත zසකාතය නොදුන්නේ නම් පසු වර්ෂයේ දී මෙම අතපසු වූ zසකාතයන් එකතු කර මීළඟ වර්ෂයේ බෙදා හැරිය යුතු බව ඉස්ලාමීය විද්වතුන් ප්‍රකාශ කරයි.

සදකතුල් ෆිත්ර්

සදකතුල් ෆිත්ර් යනු සෑම පුරවැසියකුම දිය යුතු දානයකි. මෙය සිදු කරන්නේ රමළාන් මස අවසානයේ ඊළඟ මාසය සඳහා සඳ දැකීම පටන් නෝම්බි අව්රුද්ද හිමිදිරියේ පල්ලියේ නැමදුමට පෙර සිදු කළ යුතුයි. එනම් සෑම පුද්ගලයෙකු තමන් භාරයේ සිටින සාමාජිකයින් සංක්‍යාවට සමානව තම රටේ ප්‍රධාන ආහාරය දුප්පත් මුස්ලිම් වරුන් සඳහා බෙදා හැරීමය. තමන් ජීවත් වන සමාජය තුළ මෙය බෙදා හැරිය යුතු අතර කිසිදු මුස්ලිම් වරයෙකු සාගින්නේ අව්රුදු සැමරිය නොයුතුය යන්න මෙහි පරමාර්ථය වේ. උදාහරණයක් දෙන්නේ නම් එක් පියෙකු යටතේ දරුවන් දෙන්නෙකු හා බිරිඳ සිටී නම් ඔහු ලංකාවේ ප්‍රධාන ආහාරය බත් නිසා එක් යැපෙන්නෙකුට එම පියාගේ අත් දෙක පිරෙන්නට හාල් මිටි 2 1/2 (මිනුම් දණ්ඩක් වශයෙන් ගන්නේ නම් 2.5kg ) බැගින් යැපෙන්නන් 3 දෙනා සහ පියා සඳහා 2.5 kg X 4 දෙනෙකු = 10kg ක් දුප්පතුන් අතරේ බෙදිය යුතු අතර තමන් පරිභෝජනයට ගන්නා හාල් වර්ගයම හෝ ඊට සමාන වර්ගෙයේ ප්‍රමිතියක් ඇති හෝ ඊට වඩා බාල නොවන තත්වයේ හාල් දිය යුතුය.

තමන් පමණක් නොව තම සමාජයත් සතුටින් තබා ගැනීමේ සමාජ වගකීම ඉස්මතු වීමක් මෙයින් සිදු වේ.

එම නිසා රමළාන් උපවාස සමය යනු තනි මිනිසාට හා සමාජයටම ප්‍රතිලාභ රැසක් ගෙන දෙන ශුද්ධ වූ මාසයක්. මෙම උපවාස ක්‍රමය රමළාන් නම් වූ මාසයට නියමිත කිරීමට ප්‍රධාන හේතුව නම් ශුද්ධ වූ අල් කුර්ආණය මෙළොවට පළමු වරට පහළ වුයේ මෙම මාසයේ ය. රමළාන් මාසයේ අවසන් දහය තුළ ඔත්තේ දිනයක තමා ශුද්ධ වූ අල් කුරාණය මෙලොවට පහළ වුනේ. මෙම පහළ වූ රාත්‍රියේ අධික ලෙස නැමදුම් වල යෙදී පශ්තාප්පයේ යෙදෙන්නගේ පෙර කළ සියලු පව් අල්ලාහ් දෙවියන් වහන්සේ සමාව දී ඔහු එදින උපන් ළදරුවෙකු මෙන් පවින් නිදහස් කරන ලෙස ශුද්ධ වූ අල් කුරාණයේ පවසනවා. මේ පමණක් නොව ඉස්ලාමය තවත් වැදගත් සිද්ධීන් කිහිපයක් මෙම මාසය තුළ සිදුවී තිබෙනවා.

තවද රාමළාන් මාසය යනු මිනිසෙකු ජීවත්විය යුතු ආකාරය පෙන්වාදෙන පෙරහුරුවක් ලෙස ඉස්ලාමය හදුන්වා දෙනවා. රමළාන් මාසයේ කළ පින් එම මාසයට පමණක් සීමා නොකර අනෙකුත් මාසයන්වලදී ද එමෙන්ම පවත්වාගෙන යා යුතු බවද මෙම රමළාන් මාසය අනෙකුත් මාස 11 සඳහා පෙරහුරුවක් ලෙස යොදා තිබෙනවා.

90% LikesVS
10% Dislikes

Share කරන්න