Share කරන්න

photo credit for featured image – https://www.icbr.org/services/muslim-burial/

“සියළු සත්වයෝ මරණය භුක්ති විදින්නේමය” යන්න අල් කුර්ආණය (3:183) වාක්‍යය තුළින් අල්ලාහ් දෙවියන් වහන්සේ මෙළොව ජීවියන්ගේ ස්වභාවය සඳහන් කර ඇත. යම් ජීවියෙකු මෙළොවට බිහි වීමත් සමඟම එම ජීවියාගේ මරණය සිදුවන දිනය හා ස්ථානයද නිශ්චිත වන්නේය. එහි දැනුම ඇත්තේ අල්ලාහ් දෙවියන් වහන්සේට පමණක්ම බව අල් කුර්ආණය පෙන්වා දෙනවා. මරණය සඳහා නිශ්චිත වූ ඒ කාලය අල්ලාහ් දෙවියන් වහන්සේගේ අභිමතය අනුව් පමණක් වෙනස් විය හැක.

සෑම පුවතකටම (එය සිදුවෙමෙහි ස්ථානය හා වේලාව පිලිබඳ ) නිර්ණයක් ඇත. ( අල් කුර්ආණය 6:67)

යම් පුද්ගලයෙකු සාමන්‍යය ජීවිතයේ පුරුද්දක් වශයෙන් ජීවත් වූ ආකාරයටම ඔහු මිය යන බව අල්ලාහ් දෙවියන් වහන්සේ අපට පෙන්වා දී ඇත. උදහරණයක් වශයෙන් එක් පුද්ගලයෙකු තම ජීවිතයේ පාපකාරී ලෙස ජීවත් වන්නේ නම් ඔහු මිය යන්නේද පාප කාරයෙක් වශයෙන්ද ඔහු ධාර්මිකව ජීවත් වුයේ නම් ඔහු යහපත් පුද්ගලයෙකු ලෙසම මිය යන්නේය. යම් හෙයකින් පාපකාරී ලෙස ජීවත් වූ පුද්ගලයෙකු තමන් කළ පව් ගැන සිතා පශ්චාත්තාප වී යහපත් දෙසට නැඹුරු වුයේ පමණක් ඔහුට යහපත් පුද්ගලයෙකු ලෙස මිය යනු ඇත. මෙය තමන් කුමන ආගමක වුවත් නීතිය පොදුය. පුද්ගලයා මුස්ලිම් වුවද පාපකාරී ලෙස ජීවත් වුයේ නම් අල්ලාහ් දෙවියන් ඉදිරියේ ඔහු මිය යන්නේ ඛේදජනනීය ලෙසය.

මුස්ලිම් වරයෙකු මරණයට පත් වූ පසු ඔහු වෙනුවෙන් ජීවත් ව සිටින්නන් වෙත වගකීම් 4ක් පැවරෙනවා. ඒවා පිළිවෙළින් පහත පරිදි වේ.

  • නෑවීම
  • කෆන් කිරීම (එනම් සුදු රෙද්දකින් මෘත දේහය ඇතිරීම)
  • ඔහු වෙනුවෙන් මෘත දේහ සඳහා වූ විශේෂිත වන්දනාව (සලාතය) ඉටු කිරීම.
  • භූමදානය කිරීම.

  • නෑවීම

මෘත දේහයට අදාළ වෛද්‍ය කටයුතු අවසන් වූ පසු නිවෙසට ගෙන එම මෘත දේහය පරිපුර්ණ නෑවීමක් සිදු කෙරේ. මෙහිදී එම මෘත දේහයේ තුළ අසූචි හා මළ පහ තිබේ නම් ඒවාද බැහැර කිරීමක් සිදු කෙරේ. ශරීරයේ සියළු කොටස් ආවරණය වන පරිදි පරිපුර්ණ නෑවීමක් සිදු කෙරේ. මෙම ක්‍රියාවලියෙන් ඉතාමත් පුණ්‍යම කරුණ වන්නේ එම මෘත දේහය පව්ලේ අය විසින්ම ස්නානය කිරීමය. විශේෂයෙන්ම දෙමව්පියන්ගේ මරණය තම දරුවන් විසින් කිරීමය. එසේ නැතහොත් මෙම ක්‍රියාව වෙනුවෙන් ආගමේ සමිති විසින් පුහුණුව ලත් වෙනත් කණ්ඩායම් සිටිනවා. ඔවුන් විසින් මෙය කළ හැක. මෙහිදී සැලකිල්ලට ගත යුතු කරුණක් නම් පිරිමි මෘත දේහය නම් පිරිමීන් විසින්ම පමණක් කළ යුතු අතර කාන්තා මෘත දේහයක් නම් කාන්තාවන් විසින් පමණක් කළ යුතුය.

  • කෆන් කිරීම (එනම් සුදු රෙද්දකින් මෘත දේහය ඇතිරීම)

නෑවීම සම්පුර්ණ කළ පසු එම මෘත දේහය පහත රූපයෙන් දැක්වෙන පරිදි සුදු රෙද්දකින් ඇතිරීම සිදු කර යුතුය. මුහුණ හැර සම්පූර්ණ ශරීරයම ආවරණය වන පරිදි මෙය ඇතිරිය යුතුය. මෙම කෆන් කිරීමෙන් පසුව මෘත දේහය පොදුවේ නැරඹීම සඳහා තබනු ලැබේ. මෙහිදී කාන්තා මෘත දේහයක් නම් පව්ලේ ලේ නෑයින් වන පිරිමීන් හැර අනෙක් පිරිමීන් හට නැරඹීම තහනම්. පිරිම් මෘත දේහයක් නම් පව්ලේ ලේ නෑයින් වන කාන්තාවන් හැර අනෙකුත් කාන්තාවන්ට නැරඹීම තහනම්. මරණයක් සිදුවූ කළ එය ඉදිරියේ ශබ්ද නඟා ඇඩීමෙන් වළකින්න ලෙස ඉස්ලාම් පෙන්වා දෙනවා. මහජන නැරඹීමෙන් පසු පහත රූපයේ දැක්වෙන ආකාරයෙන් පල්ලිය වෙත වන්දනය සඳහා ගෙන යනු ලැබේ. 

photo credit https://www.flickr.com/photos/myucius/4398143519
  • මෘත දේහ සඳහා වූ විශේෂිත වන්දනාව (සලාතය) ඉටු කිරීම.

මහජන ප්‍රදර්ශනයෙන් පසුව හැකි ඉක්මණින් මෘත දේහය පල්ලිය වෙත ගෙන ගොස් ඉහත රූපයෙන් දැක්වෙන පරිදි මෙම මෘත දේහය වෙනුවෙන් වන්දනය සිදු කෙරේ. පල්ලියේ පූජක තුමා මූලික කොට ගෙන මෙය සිදු කරද මෙහිදීද වඩා අගනා වන්නේ එම මෘත දේහයේ පව්ලේ සාමාජිකයෙකු විසින් එම වන්දනය මුලික කොට ගෙන සිදු කිරීමයි. විශේෂයෙන් දෙමව්පියන් වෙනුවෙන් තම දරුවන් මූලික වී සිදු කිරීමය.

මෙහිදී පූජක තුමා විසින් මෙම වන්දනයට පෙර ඉතාමත් වැදගත් ඉල්ලීම් 2ක් මෙම මෘත දේහය වෙනුවෙන් කරනු ලැබේ. එනම්

1, මෙම පුද්ගලයා (මෘත දේහය) ජීවත් ව සිටියදී ඔබ අතුරින් කවරකුට හෝ සිත රිද්දීමකින් හෝ පාපයක් කර ඇති නම් අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවෙන් එය අමතක කොට මොහුට (මෘත දේහයට ) සමාව දෙනු මැනව.

යම් පුද්ගලයෙකු ජීවත්ව සිටියදී තවත් කෙනෙකුට ඉතා සුළු වශයෙන් වුවද  දැනුවත් ව හෝ නොදැනුවත්ව හෝ  පාපයක් සිදු කර ඇත් නම් එම පීඩාවට පත් වූ මිනිසා විසින්ම ඔහුට සමාව දෙන තුරු  ඔහුට (පීඩාවට පත් කර පුද්ගලයාට) ස්වර්ගයට පිවිසිය නොහැක. අද සමාජයේ බහුලව දක්නට ලැබෙන නමුත් සුළු කොට දක්වන ඉස්ලාමීය කෝණයෙන් ඉතා බරපතල පාපයක් වන අනුන්ට පට බැඳී නම් වලින් කතා කිරීමය. යම් පුද්ගලයෙකු ස්වභාවිකව උසින් අඩුව මිටිව සිටින්නේ නම් ඔහුට කුරුමිට්ටා වැනි පට බැඳී නම් වලින් අමතනු ලබයි. නමුත් මෙම වචනය එම මිටි මිනිසාට කෙතරම් සිත් රිද්දීමක් , මානසික අසහනයක් ගෙන දෙන්නේද යන්න සිතා බලන්නේ නැත. එවන් හෝ සිත රිද්දීමකින් හෝ යම් පුද්ගලයෙකුව අසහනයකට පත් කර ඇති නම් ඔහුගෙන් සමාව ලැබෙන තුරු  අනෙක් පුද්ගලයාට ස්වර්ගයට පිවිසිය නොහැක. එවන් පාපයක් කර ඇති නම් ජීවත්ම සිටියදීම ඔහු/ඇය හමු වී සමාව ලබා ගත යුතු යන්න ඉස්ලාම් අනතුරු හඟවයි. නමුත් ඔහුගේ ආයාචනයකින් තොරවම  අසහනයට / පාපයට ලක් වූ පුද්ගලයා   සමාව දෙන්නේ නම් ඔහුට අල්ලාහ් දෙවියන් විසින් ඉමහත් ප්‍රතිලාභ ලැබෙනු ඇත. 

2. මෙම පුද්ගලයා (මෘත දේහය) ජීවත් ව සිටියදී ඔබ අතුරින් කවරකුට හෝ ණයක් වී එය තවමත් පියවී නැතිනම් ඔබට හැකි නම් පමණක් එය අමතක කරනු මැනව. එසේ නොහැකි නම් මොහුගේ (මෘත දේහයේ ) පව්ලේ සාමාජිකයෙකුට අදාළ විස්තර පවසමින් එය ලබා ගන්න.

යම් පුද්ගලයෙකු ඉහල ස්තරයේ පූජකයෙකු වුවද ඔහු මරණයට පත් වූ විට ඔහු වෙනත් පුද්ගලයෙකුට හෝ සමාගමකට හෝ රුපියලකින් වුවද ණය වී ඇති නම් ඔහුට ස්වර්ගයට පිවිසිය නොහැකිය. එය දුරකථන ජාල බිලක් හෝ වේවා, බැංකු ණයක් හෝ වේවා, කුමක් වුවද පියවිය යුතුය. එම නිසා ඔහු මිය ගිය විට ඔහුගේ පවතින දේපළෙන් හෝ ඔහු වෙනුවෙන් ඉදිරිපත් වෙන වෙනත් කව්රුන් විසින් මෙම ණය පියවා ගැනීමක් සිදු කර හැක. බොහෝ විට මිය ගිය පුද්ගලයා හා පව්ල දුගී පව්ලක් නම් එම ණය පියවීම පිණිස ස්වේච්චාවෙන්ම ගමේ සිටින ධානපතියන් ඉදිරිපත් වනු ඇත. යම් පුද්ගලයෙකු හදිසියේ මිය ගිය විට ඔහු අතින් පිය විය යුතු ණය තිබුනේ නම් ඔහුට (මිය ගිය පුද්ගලයට) අසාධාරණයක් සිදු නොවීම පිණිස මෙය සිදු කර ඇත. නමුත් සමාජයේ ඇතැම් මිනිසුන් ණය ලබාගෙන එය උවමනාවෙන් මග හැරීමේ ප්‍රයත්නයක සිටින නිසා මෙවන් පුද්ගලයින් හරහා ණය දුන් අයට සිදුවන අසාධාරණ හෝ විපාකයක් වැලැක්වීම පිණිස මෙම නීතිය යොදා ඇත.

ඉහත ඉල්ලීම් දෙක ඉල්ලීමෙන් පසු මෘත අභාවයට පත්වූ මිනිසාගේ පව් සමා කර ඔහු/ඇය ස්වර්ගයට යැවීම පිණිස ඔහු වෙනුවෙන් වන්දනය සිදු කරනු ලබයි. පසුව මෘත දේහය භූමදානය කිරීමට ගෙන යනු ලැබේ.

  • භූමදානය කිරීම.

මිනිසෙක් හෝ ඕනෑම ජීවියෙක් මැරුණු කළ එම ජීවියාව භූමදානය කර යුතුය. ආදාහනය කිරීම ඉස්ලාමයේ තහනම් වේ. ඉහත රූපයෙන් දැක්වෙන පරිදි භූමදාන සඳහා කපනු ලබන වල අඩි 6ක් උසය. පළල අඩි 2ක් පමණය. සුදු වස්ත්‍රය හැර කිසිදු ලී පෙට්ටි වැනි බාහිර අවරනයකින් තොරව මිනිය භුමදානය කරනු ලැබේ. වල අඩියේ තබා අඩි පහක් පමණ උසින් ලෑල්ලකින් ආවරණය කොට එම ලෑල්ල මත පස් පුරවනු ලැබේ. ඉන්පසුව පුජක තුමා විසින් නැවතත් මෘත දේහය වෙනුවෙන් පව් සමා කිරීමේ යාඥාවක යෙදෙන අතර ඉන්පසු ලෞකික ජීවිතයේ ස්වභාවය පිලිබඳ හා මරණින් පසු ජීවිතය පිළබඳ කෙටි දේශනයක් භූමදානය සඳහා පැමිණ සිටින්නන් හට සිදු කරයි. ඉන්පසු සියලු දෙනා මිය ගිය පුද්ගලයාගේ පව්ලේ අයට හා ලඟම ඥාතීන් හට සලාම් කියා විසිර යනු ලැබේ.

ඉහත සියළු ක්‍රියාවන් 4 පැය විසිහතරක් තුළ සිදු කර යුතු බව ඉස්ලාමය අවධාරණය කරනවා. විද්‍යාත්මක වෛද්‍යමය හා නීතිමය කරුණු මත ඉහත පිළිවෙත් වෙනස් කිරීමට අනුමැතිය ඇත. මළ ගෙයකට යම් පුද්ගලයෙකු යන්නේ නම් එම මළ ගෙදරින් කෑම බීම බලාපොරොත්තු නොවිය අතර ඒ වෙනුවට මළ ගෙදර වෙසෙන්නන් හට ආහාර පාන යනාදී අවශ්‍ය කටයුතු සම්පාදනය කර දීම අසල්වැසියන්ගේ වගකීමක් බව මුහම්මද් නබිතුමා (PBUH) පෙන්වා දී තිබෙනවා. ඔවුන් විසින්ම (මළ ගෙදරින් ) ආහාර පාන දුන් විට එය අනුභව කිරීම වරදක් නොවන අතර නමුත් එවන් භෝජනයක් වගකීමක් සේ බලාපොරොත්තු නොවන ලෙස පෙන්වා දී ඇත.

මරණින් පසු කරනු ලබන ආගමික වතාවන් 

මිනිසෙකු අභාවයට පත් වූ පසු ඔහු හා මෙළොව අතර සම්බන්ධය නතර වනු ඇත. නමුත් කරුණු 3ක් හැර යැයි මුහම්මද් නබි තුමා හදීස් ග්‍රන්ථ තුළින් දේශනා කර ඇත. ඔහු මරණයට පත් වූ පසු ඔහුගේ පව් පින් සියල්ල නවතිනු ලැබේ. කරුණු තුනක් හැර. ඒවා නම්

  • 1.ඔහුගේ දරුවන් ඔහු වෙනුවෙන් කරන ආයාචනා

යම් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ/ඇයගේ දරුවන් ඔහු/ඇය වෙනුවෙන් ස්වර්ගය හෝ පව් සමා කර අල්ලාහ් දෙවියන් වෙත කරනු ලබන ආයාචනාවන් නිසා මියගිය මව /පියාගේ පව් සමාවන අතර ස්වර්ගයේ ඔහුට ලැබෙන ශ්‍රේණිය ද වැඩි වන බව මුහම්මද් නබි තුමා පෙන්වා දී ඇත.

  • 2.මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී කර ඇති ස්ථීර දානයන්.

ඉස්ලාමයට අනුව දානය කොටස් දෙකකට බෙදෙනවා. එනම් ස්ථීර දානය හා තාවකාලික දානය වේ. තාවකාලික දානය යනු උදාහරණයක් වශයෙන් යම් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට කෑමකින් දන් දීම, භාණ්ඩයක් පරිත්‍යාග කිරීම, වතුර දීම, වැනි දානයන් ය. මෙවන් දානයන් පරිත්‍යාග කරන්නා වූ බාන්ඩය හෝ ආහාරය අවශ්‍යතාවය නිම වීමත් සමඟම එම දානයද නිම වෙනවා. නමුත් ස්ථීර දානය යනු ගසක් සිටුවීම, පුස්තකාලයක් ඉදි කිරීම, ගමට ලිඳක් කපා දීම, පල්ලියක් ඉදි කර දීම, ඉස්පිත්තලයක් හෝ වාට්ටුවක් ,එසෙත් නොමැති නම් එවන් ගොඩනැගිල්ලකට අවශ්‍යය ඉඩමක් පරිත්‍යාග කිරීම වැනි අප සාමාන්‍ය ව්‍යවහාරයේ පවසන්නා පරිදි මහා පරිමාණයේ දාන පරිත්යාගයන්ය. මෙවන් පරිත්‍යාගයන් කිසිදා නිම වන්නේ නැත. පරිත්‍යාග කළ පුද්ගලයාගේ ආයුෂ කාලය සාමන්යෙන් 60ක් 80ක් වුවද මෙවන් ස්ථීර දානයන් වල පැවැත්මට නිමක් නොමැත.

එම නිසා යම් පුද්ගලයෙකු ජීවත්ව සිටියදී මෙවන් ස්ථීර දානයක් පරිත්‍යාගයක් කර මරණයට පත් වන්නේ නම් ඔහු/ඇය මරණින් පසුත් එම පරිත්‍යාගය මෙලොව අනෙකුත් ජීවීන් බුක්ති විඳින තරමට එම පුද්ගලයා වෙතට එම පින් රැස් වෙනු ඇත.

  • 3. මිය ගිය පුද්ගලයා ජීවත්ව සිටියදී තවත් කෙනෙකුට දායාද කළ දැනුම

ඉහත පරිදිම යම් පුද්ගලයෙකු ජීවත්ව සිටියදී තවත් කෙනෙකුට දැනුමෙන් පරිත්‍යාගයක් කරන්නේ නම් එම දැනුම තුලින් සමාජය ලබන ප්‍රතිලාබ තරමටම ඔහු මිය ගිය පසුත් ඔහුට පින් රැස් වෙනු ඇත. මෙම දැනුම ආගමික හෝ ඕනෑම යහපත් දැනුමක් විය හැක.

මෙම කරුණු තුන හැර වෙන කිසිදු මාර්ගයකින් පුද්ගලයෙක් මැරුණු පසු ඔහු/ඇය වෙත පින් පහළ නොවන බව ඉස්ලාමයේ ස්ථාවරයයි. නමුත් ඉහත කී කරුණු තුනම අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය පතා පමණක් කර යුතු අතර සමාජයේ හෝ තවත් කෙනෙකුගේ පැසසුමට ලක් විය යුතු යන්න අරමුණින් කළේ නම් එම ක්‍රියාවන් වල කිසිදු ඵලක් ඔහු/ඇය වෙත අත් නොවන බව ඉස්ලාමය තවදුරටත් අවධාරණය කරයි.

අද සමාජයේ සමහර මුස්ලිම් සමාජය තුළද තුන් මස දානය, 40 වන දානය වැනි සම්ප්‍රදායන් තුළින් මළවුන්ට පින් දීමේ කටයුතු සිදු කරනු දක්නට ලැබෙන ඇත. තවත් සමහරුන් මළවුන් පිණිස බස් හෝල්ට් , වැනි ඉදි කිරීම් කටයුතුද සිදු කරනු දක්නට ලැබෙන අතර මෙවන් අනුන් විසින් තම මිය ගිය පසු කරනු ලබන කිසිදු පරිත්‍යාගයක් ඵල නොදෙන අතර එවන් දේවල් කිරීම ඉස්ලාමයේ තහනම් (හරාම්) බව අනතුරු හඟවයි. තමන්ට පින් අවශ්‍ය නම් තමන් විසින්ම ජීවත්ව සිටියදී අත් පත් කර ගත යුතු බව ශුද්ධ වූ අල් කුර්ආණයෙන් හා මුහම්මද් නබි තුමාගේ දේශනා අඩංගු හදීස් ග්‍රන්ථ තුළින් පෙන්වා දී ඇත.

50% LikesVS
50% Dislikes

Share කරන්න