Share කරන්න

ශුද්ධ වූ අල් කුරාණයේ අල්ලාහ් දෙවියන් වහන්සේ විසින් එක් පුද්ගලයෙකු මෙළොව ජීවත් විය යුතු අකාරය, එනම් ව්‍යාපාර කරන ආකාරය, සමාජය සමග හැසිරිය යුතු ආකාරය,මූල්‍යමය ගණුදෙනු, රාජ්‍ය පාලනය කරන ආකාරය, දරුවන් සහ දෙමාපියන් බලාගත යුතු ආකාරය, මේ ආදී වශයෙන් පරිපුර්ණ මග පෙන්වීමක් කර තිබෙනවා. මේ සඳහා නොයෙකුත් නීති සහ අනුශාෂනා අල් කුරාණයේ සදහන් කර තිබෙනවා. කොටින්ම කියනවා නම් ඉස්ලාමීය ෂරියා නීතිය ආවරණය නොවන මෙලොව කිසිම ක්‍රියාවලියක් නැති තරම් ය. මෙලෙස ශුද්ද වූ අල් කුරාණයේ පනවා ඇති නීති වලට “ෂරියා නීතිය” කියලා හදුන්වනවා. “ෂරියා” කියන්නේ අරාබි භාශාවෙන් “නීතිය” “අල්ලාහ් දෙවියන් වහන්සේගේ මග පෙන්වීම”යන අර්ථය වේ.

මෙම නීතී පද්ධතියට ශුද්ධ වූ අල් කුරාණය පදනම් කොට ගෙන මුහම්මද් නබි තුමාණන් (PBUH ) කළ උපදෙස් හා ක්‍රියා පටිපාටීන් අඩංගු හදීස් ග්‍රන්ථ ද මුලාශ්‍රයක් වෙනවා.

මෙහි හරාම් සහ හලාල් යන කොටස් දෙකක් තිබෙනවා. හලාල් යනු ” අනුමතලත්” යන්නද හරාම් යනු ” තහනම්” යන අර්ථය වේ. යම් ආහාරයක් හෝ යම් ක්‍රියාවක් එක් පුද්ගලයෙකුගේ ශරීර සෞකයට, හෝ ඔහුගේ ආධ්‍යාත්මික ගුණයන්ට හෝ, ඔහුගේ මානසිකතත්වයට හෝ එසේත් නැතිනම් එම ක්‍රියාව නිසා  ඔහුගෙන් තවත් පුද්ගලයෙකුට හෝ සමාජයට අහිතකර දෙයක් ගෙන දෙන්නේ නම් එම එම ක්‍රියාව හෝ ආහාරය ඉස්ලාමයේ තහනම් කර ඇත. මේ පමණක් නොව සොබා දහම සහ අනෙකුත් සතා සිව්පාවන්ට කල යුතු වගකීම් ද මෙහි ඇතුලත් ය.

උදාරහණයක් වශයෙන් මත් පැන් පාණය , ඌරු මස් අනුබවය ඉස්ලාමයේ තහනම් කර ඇත්තේ ඒවා අනුබවය තුලින් සමාජීය ,සෞක්‍යම , සහ අධ්‍යාත්මික වශයෙන් පිරිහීම සිදුවන නිසාය. තවත් උදාහරණක් ගත්තොත් පොළිය ගැනීම , පොළියට අනුබල දීම , සහ පොළිය දීම ඉස්ලාමයේ දැඩි ලෙස තහනම් කර ඇත. එසේ කිරීමට හේතුව එය සමාජ ආර්ථිකයටම හානිකරදායක සහ අසාධාරනකම් සිදුවන නිසාය.

ඉතාමත් කෙටි උදාහරණයක් දෙනවානම් තවත් කෙනෙකුගේ වත්තේ ඇති පළතුරක් ඔහුගේ අවසරය නොමැතිව පරිබෝජනය කිරීම ඉස්ලාමයේ හරාම් වේ. හරාම් හරාම් කියා තහනම් කරනවා පමණක් නොව ඒවාට විකල්ප සුදුසු මාර්ගද හදුන්වා දී තිබෙනවා.

එක් පුද්ගලයෙකු මිය ගිය පසු ඔහුගේ දේපල තම පව්ල අතරේ බෙදිය යුතු ආකාරය පවා අල් කුරාණයේ ෂරියා නීතිය තුළ අන්තර්ගත වී තිබෙනවා.

ඉස්ලාමයේ නීති බහුල ඇයි ?

අනෙකුත් ආගම් වලට සාපේක්ෂව ඉස්ලාමයේ නීති රීති බහුල බව සමාජයේ මතයක් තිබෙනවා. මේක සහතික ඇත්ත. නමුත් මේ සියලු නීති රීති පනවා ඇත්තේ සමාජයේ සහ ස්වබධර්මයාගේ යහපත උදෙසා ය.

එක් පුද්ගලයෙකු හෙල්මට් එක දමා මෝටර් සෛකලයක යාම ඔහු පිළිකුලක් ලෙස දකි. නමුත් හෙල්මට් එක පැළදීම රජයෙන් නීතියෙන් අනිවාර්ය කරන්නේ ඒ එම පුද්ගලයාගේ යහපත පිණිසය. රටක නීතියක් පොලිසියක් අධිකරණයක්, බන්දනාගාරයක් තිබෙන්නේ එම රටේ සාමය, පුද්ගල ඓතිවාසිකම, සුරැකීම පිණිස යන්න ඔබ කව්රුත් හොදින් දන්නා කරුණක්. සමාජෙයේ කොතරම් නීති තිබුනද ඒවා කඩ කරන පිරිසක් හැම රටකම හැම සමාජයකම ඉන්නවා.ඒ නිසා රජයට දඬුවම් කිරීමට සිදු වෙනවා.

තවත් උදාහරණයක් දෙන්නේ නම් , අප කාටත් පාසල් අවධිය පිළිබඳ ඇත්තේ හොඳ මතකයක්. ජීවිත කාලයත් සමඟ සැසඳූ කළ පාසල් කාලය යනු ඉතා කෙටි කාලයක් වුවද එම කාලය තුල ලබා ගත් දැනුම සහ මතකයන් බහුලයි. පාසලේදී පාසලටම කියා ඇඳුමක් තිබුනා, සමහරක් විට අපට කැමති ආකාරයේ සපත්තුවක්,මේස් කුට්ටමක්, අපට කැමති හිසකෙස් විලාසිතාවක් දාන්න බැහැ. ඒවාටත් නීති තිබුණා. වැරදි කරන විට නීති කඩන විට බැනුම් ඇසුවා.බොහෝ විට ගුරුවරුන්ගෙන් ගුටි කෑවා. නමුත් අප කිසිදාක පාසල හැර ගියේ නැහැ. කිමද ඒ නීති පනවා ඇත්තේ අපගේ ම යහපතට බව අප හොඳින් දන්නා නිසාය.

මෙලෙස පාසලක්, පල්ලියක්, පොලීසියක්, රාජ්‍ය ආයතනයක්, පෞද්ගලික ආයතනයක්, හමුදාවක් වැනි ඕනෑම ආයතනයක් ගත් කළ ඒවාට අවේණික නීති පද්ධතියක් තිබෙනවා. එම නීති පද්ධති තුළින් බලාපොරොත්තු වන්නේ එම ආයතනයේත් සේවකයින්ගේත් යහ පැවැත්මත් ගෞරවය රැකීමත් සහ සමාජයේ යහපත යන එකම යහ අරමුණක් නිසාමය.

ඉස්ලාමයේ ෂරියා නීතිය තුලින්ද සිදුවන්නේ මෙවන් දෙයකි. බැලූ බැල්මට අධික නීතිරීති වලින් යුක්ත බව පෙනුනද ඒවා නිසි ආකාරයෙන් පිළිපැදූ විට ලැබෙන ප්‍රතිලාබ අති මහත්ය.

ඔබට දුක් දීම පිණිස අප මෙම කුර්ආණය ඔබ වෙත පහළ නොකළෙමු ( අල් කුරාණය 20 :1)

අල්ලාහ් ඔබලාට පහසුව ප්‍රිය කරයි . ඔහු ඔබලාට දුෂ්කරතාවය ප්‍රිය නොකරයි ( අල් කුරාණය 2 :185)

මුස්ලිම් වරුන්ට තනි නීතියක්?

ඉහත සඳහන් පරිදි මුස්ලිම් වරයෙකු ෂරියා නීතිය පිළිපැදීම අනිවාර්යයි. නමුත් තමන් වෙසෙන රටේ නීතියට අවනත වීම, පිළිපැදීමත් සෑම මුස්ලිම් වරයෙකුගේ වගකීමක් වන බව ඉස්ලාමය අවධාරණය කරනවා.
තමන් කුමන රටක වෙසුනත් එම රටේ නීතියට ගරු කිරීම මුස්ලිම් වරයෙකුගේ පරම වගකීම වනවා.

උත්තරීතර අල්ලාහ් ප්‍රකාශ කරයි. “නුඹලා නීතිගරුක වන්න. නියතවශයෙන්ම අල්ලාහ් නීතියට ගරුකරන අයට ආදරය කරයි” (අල් කුරාණය 49:9)

උදාහරණයක් වශයෙන් යම් ක්‍රියාවක් ෂරියා නීතියට අනුව ක්‍රියාත්මක කිරීම අනුමත ලැබුවද ශ්‍රී ලංකා රාජ්‍ය නීතියට අනුව එම ක්‍රියාව තහනම් නම් එම ක්‍රියාව කිරීම මුස්ලිම් වරයෙකුටද ශරියාවෙන් ද තහනම් වෙනවා. සිකුරාදා දේශනයට යාම සෑම මුස්ලිම් වරයෙකුට ෂරියා නීතියෙන් අනිවාර්ය කරුණක්. නමුත් කොරෝනා ව්‍යවසනය නිසා රාජ්‍ය නීතිය විසින් එවන් පොදු රැස්වීම් තහනම් කරන්නේ නම් එවන් අවස්තාවකදී සිකුරාදා දේශනය පැවැත්වීම ෂරියා නීතියෙන්ද තහනම් වෙනවා.

එමෙන්ම යම් ක්‍රියාවක් ශ්‍රී ලංකා රාජ්‍ය නීතියට අනුව තහනමක් නොතිබුනද ෂරියා නීතියට අනුව එම ක්‍රියාව තහනම් නම් එම ක්‍රියාව මුස්ලිම් වරයෙකුට තහනම් වෙනවා. උදාහරණයක් වශයෙන් මත් පැන් බීම රාජ්‍ය නීතියට අනුව තහනම් නොවේ. නමුත් එය ෂරියා නීතියට අනුව තහනම් වේ. මෙම අවස්තාවේදී මත් පැන් බීම මුස්ලිම් වරයෙකුට තහනම් කරුණක්.

මෙම “මුස්ලිම් වරුන්ට තනි නීතියක් ” යන මතවාදය පැන නැගීමට දැඩි ලෙස හේතුවක් වුනේ පාස්කු ප්‍රහාරයත් සමග පැන නැගුණු බුර්කාව, වෙනම මද්‍රසා පාසලක් , වෙනම විවාහ නීතියක්, හලාල් හරාම් කියා වෙනම ආහාර ක්‍රම වේදයක්, යනාදී වශයෙන් මත බේදයක්, මඩ ගැසීමක් සිදුවුණා.

බුර්කාව

බුර්කාව යනු කාන්තාවකට ඉස්ලාමය විසින් තමන්ගේ ආත්ම ආරක්ෂාව පිණිස පැළදීම සඳහා ලබා දුන් එක් ඓතිවාසිකමකි. මෙය අනිවාර්ය නොවේ. හිජාබය අනිවාර්ය වන අතර නිකාබය හා බුර්කාව අනිවාර්ය ඇඳුමක් නොවේ. තමන්ගේ කැමැත්ත පරිදි එය පැළදීමට අවසර ඇත. නමුත් මෙම බුර්කාව යම් රටක තහනම් කරන්නේ නම් එම තහනමට අවනත වීම මුස්ලිම් වරුන්ගේ වගකීමකි. බුර්කාව පිලිබඳ “ඇයි මේ බුර්කාව” යනුවෙන් වෙනම පොස්ට් එකක් අප නිකුත් කර ඇති අතර මෙහි වැඩි විස්තර සඳහා එම පොස්ට් එක පරිශීලනයක් කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

මුස්ලිම් විවාහ නීතිය

ෂරියා නීතියට තවත් මඩ ගැහිල්ලක් වීමට බලපෑ තවත් ප්‍රධාන හේතුවක් තමයි මෙම මුස්ලිම් විවාහ නීතිය කියන්නේ. ශ්‍රී ලංකාවේ තිබෙන මුස්ලිම් කාරී විවාහ නීතිය. කාරී විවාහ නීතියක් කියා මුස්ලිම් වරුන්ටම වෙන්වූ විවාහ නීති ක්‍රමයක් ශ්‍රී ලංකා ව්‍යවස්ථාවේ තිබෙන බව ඇත්ත. එය හදුන්වන්නේ MMDA (Muslim Marriage and Divorce Act ) 1951 දී ස්ථාපිත කරන ලදී.

Islamic Family Law » Sri Lanka, Democratic Socialist Republic of (emory.edu) මෙම link එක මගින් ඔබට ශ්‍රී ලංකාවේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ ඉතිහාසය හා වැඩි විස්තරයක් ලබා ගත හැක.

නමුත් අපගේ පාඨක සහෝදර සහෝදරයින්ට අප මතක් කර යුතුයි , මෙම ශ්‍රී ලංකාවේ පවතින මුස්ලිම් කාරී විවාහ හා දික්කසාද නීතිය යනු එවකට ඉංග්‍රීසි පාලනය විසින් සකසා පසුව 1951 දී එම නීතිය ගැසට් කරන ලද්දකි. මෙය ඉස්ලාමිය ෂරියා නීතිය පාදක කොට ගෙන සාදන ලද නීතියක් නොවේ. එම නිසා මෙම නීතය තුල මුස්ලිම් වරුන්ටද මත බේදයක් තිබේ. මෙය වෙනස් විය යුතුයි යන්න දැඩි ස්ථාවරයක මුස්ලිම් වරුන්ද සිටිනවා.

නමුත් විවාහ උත්සවකදී එක් එක් ආගමට ආවේනික වූ නීති රීති හා සම්ප්‍රදායන් තිබෙනවා. මේවා එලෙසම එම ආගම් වලට ලබා දිය යුතු අයිතිවාසිකමක්. උදාරණයක් වශයෙන් බෞද්ධ විවාහකදී මනමාලිය විසින් මනමාලයාට දෑවැද්ද පිරිනමන අතර මුස්ලිම් විවාහයකදී දෑවැද්ද පිරිනමන්නේ මනමාලයා විසින් මනමාලියටය. මෙවන් ආවේනික නීතින් වලට අප ගරු කර ඒ සඳහා ඉඩ දිය යුතුය. අනෙක මෙවන් අවස්තාවකදී අප සලකා බැලිය යුත්තේ මෙම ක්‍රියාවලිය නිසා එම මනාල යුවලට හෝ එයින් සමාජයට හානියක් සිදුවනවාද යන්නය. එවන් හානියක් සිදුවනවා නම් පමණක් එය නීතියෙන් තහනම් කිරීම සාධාරණය.

බෞද්ධ විවාහ මංගල්‍යක තිබෙන චාර්ත්‍ර හා නීති රීති , දමිළ විවාහ මංගල්‍යක තිබෙන චාරිත්‍ර හා නීති රීති වලට වඩා බොහෝ දේවල් වෙනස් විය හැක. එයින් අදහස් වන්නේ එකම රටක නීති දෙකක් නොව එකම රටක සමාන ප්‍රජාතන්ත්‍රවාදයයි.නමුත් එකම රටක එකම නීතිය කියලා දමිළ විවාහකට උඩරට ඇඳුම් අන්දවලා විවාහය කර යුතුයි කියන මතයක් වැනි මතයක් තමයි අද සමාජයේ තිබෙන්නේ.

මොකක්ද මේ ආහාර වල අඩංගු “හලාල් සහතිකය?

වෙළඳපොළේ නොයෙකුත් නිෂ්පාදිත අහාර පාන වලද ඔබ “හලාල්” සංඛේතය අඩංගු වන බව දැක ඇත. මෙහි අර්ථය එම අහාරය මිනිස් පරිබෝජනය සඳහා සුදුසු යන්නය. නුතන වෙළඳ පොළේ ඇති බොහෝ කෘතීමව නිෂ්පාදිත ආහාර පාන නිෂ්පාදනය සඳහා යොදා ගන්නා සමහර අමුද්‍රව්‍යන් මිනිස් ශරීරයට අහිතකරය. සමහරක් විටමින් ද්‍රව්‍යන් නිෂ්පාදනය කිරීමට සහ ආහාර කල් තබා ගැනීම සඳහා යොදා ගන්නා අමු ද්‍රව්‍යයන් එම භාණ්ඩ වල මිල පාලනය කිරීම පිණිස නිෂ්පාදකයන් විසින් මැරුණු සතුන් හෝ සතුන්ගේ අසුචි, මිනිස් පරිබෝජනයට නොසුදුසු සතුන්ගේ කොටස් භාවිතා කිරීම, හෝ මිනිස් පරිබෝජනයට නොසුදුසු වෙනත් රසායනික දේවල් යොදා ගනු ඇත. මේවා පරිබෝජනයෙන් වැලැක්වීම පිණිස බොහොමයක් රටවල් වල “හලාල් ” නම් වූ විඝණන කණ්ඩායමක් විසින් එම නිෂ්පාදනාගරයන් අධීක්ෂයනක් කිරීමෙන් පසු එම ආහාර හෝ පාන වලට “හලාල්” සහතිකය පිරිනමනු ලබයි. මෙය හුදෙක් මුස්ලිම් වරුන් සඳහා පමණක් නොව සියලු මනුස්ස වර්ගයා ගේ යහපත වෙනුවෙන් කරන විඝනනමය ක්‍රියාවලියකි.

සාමාන්‍ය පව්ලක පියෙකු හෝ මවකු වෙළඳ පොළට ගොස් එළවළුවක් තෝරා ගැනීමේදී එම එළවලුව පිරිසිදු බව , ගුණාත්මක බව, එහි වස විස එකතු වී තිබෙනවාද යන්න හොදින් සොයා තහවුරු කරගැනීමෙන් පසු තමයි එම එළවලුව මිලදී ගන්නේ. ඉස්ලාමයේ මෙම හලාල් සහතිකය තුලින් සිදු වන්නේ මෙම ක්රියාවලියමය. නමුත් මහා පරිමාණයෙන් යම් ආහාරක් නිෂ්පාදනය වීමේදී එය එය නිෂ්පාදන වන ආකාරය, එයට යොදා ගන්නා අමු ද්‍රව්‍ය , ප්‍රවාහනය කරන ආකාරය, යනාදී විශ්ලේෂණයක් සාමාන්‍ය පුද්ගලයෙකුට කල නොහැකි නිසා ඉස්ලාමය විසින් ඒ සඳහා වෙනම විඝණන කමිටුවක් පත් කල එම කමිටුව හෝ සංගමය හරහා එහි ගුණාත්මක බාවය තහරුවූ කර වෙළඳ පොළට හදුන්වා දීමක් තමයි මෙම හලාල් සහතිකය තුළින් සිදු කරන්නෙ.

ඔබද ඔබේ දරුවාට යම් ආහාරයක් මිලදී ගැනීමේදී එහි පිරිසිදු භාවය, ගුණාත්මක භාවය සහ අන්තර්ගනතය පිලිබඳ දැඩි සැලකිල්ලක් දක්වනු නොවේද? හලාල් සහතිකයෙන් ද සිදුවන්නේ මෙම ක්‍රියාවලියම තවත් විද්‍යාත්මකව ගැඹුරට අධ්‍යනය කිරීමකි.

ශ්‍රී ලංකාවේ මෙම සහතිකය පිරිනමන්නේ HAC නම් වූ ආයතනයක් මගින් වන අතර මෙම ආයතනය මෙය 2007 අංක 7 දරණ සමාගම් පණත යටතේ නිසි ලෙස ලියාපදිංචි වී ඇත. මැද පෙරදිග රටවල් වල පිහිටි ප්‍රධාන හලාල් කමිටු විසින් මෙම ශ්‍රී ලාංකීය HAC ආයතනයේ හලාල් සහතිකය පිළිබඳ ඉහළ පිළිගැනීමක් ඇති නිසා දේශීය ආහාර පාන අපනයනයේදී මෙම සහතිකය නිසා 65% දායකත්වයක් දීමට සමත් වී ඇත. පාරිභෝගිකයන්ට පමණක් නොව මෙම සහතිකය නිසා නිෂ්පාදකයින්ට ලැබෙන ප්‍රතිලාබ අති මහත්ය. ඒවා නම්,

  • ගෝලීය හලාල් ආහාර හා පාන වෙළඳපොලේ කොටස් කරුවෙක් වීම. හලාල් වෙළඳපළ වාර්ෂිකව 6.3% ක වර්ධනයක් සහිත වන අතර 2024 වන විට මෙය ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 2 ක අලෙවියක් අත් කර ගනු ඇත යැයි අනුමාන කර ඇත 
  • ලෝකයේ වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ජනගහනයට ආහාර පාන සැපයීමේ අවස්ථාව හිමි වීම. මුස්ලිම් ජනගහනය 2030 වන විට බිලියන 2.2 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
  • ලෝකයේ වේගයෙන් වර්ධනය වන මුස්ලිම් ජනගහනයට ආහාර පාන සැපයීමේ අවස්ථාව හිමි වීම. මුස්ලිම් ජනගහනය 2030 වන විට බිලියන 2.2 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කෙරේ.   
  • ගෝලීය වෙළඳපල තුළ හලාල් ආහාර පාන අලෙවිය  මගින් ප්‍රතිලාභ අත් කර ගැනීම.
  • හලාල් සහතික කිරීම පාරිභෝගිකයින්ට නිෂ්පාදනයන්ගේ ප්‍රකාශ තහවුරු කිරීමට උපකාරී වන අතර එමඟින් ඉහළ පරිමාවකින් යුත් අලෙවිය සාක්‍ෂාත් වේ.

ඉහතින් දැක්වෙන ලාංචන 2 කම ශ්‍රී ලංකා හලාල් සංගමය නොහොත් HAC විසින් අනුමත කරන ලද ලාංචන වේ. මෙහි වැඩි විස්තර සඳහා https://www.hac.lk/si යන වෙබ් අඩවියෙන් ඔබට වඩාත් සුපැහැදිලි වැඩි විස්තර ලබා ගත හැක.

මෙම සහතිකය තුල , අල්ලාහ් දෙවියන් වහන්සේ වෙනුවන් භාර කිරීමක් හෝ, මුස්ලිම් සංගමය සඳහා මුදල් එකතු කිරීමක් හෝ ජාතිවාදී අරමුණ කරගැනීමක් වැනි කිසිම වැරදි චින්තනයක් අඩංගු නොවන බව කාරුණිකව සඳහන් කරමු. 

ඇයි වෙනම පාසලක් (මද්රසා )?

බෞද්ධ සහෝදරයෙකු තම ආගම ඉගැනීමට නම් ඔහු පන්සලේ පිරිවෙණට යා යුතුයි. කිමද හින්දු කෝවිලේ බෞද්ධාගම උගන්වන්නේ නැති නිසා. එමෙන්ම ක්‍රිස්තියානි සහෝදරයෙක් කිතුනු ආගම ඉගෙනීම සඳහා යා යුත්තේ ක්‍රිස්තියානි පල්ලියටයි , කිමද මුස්ලිම් පල්ලියේ කිතුනු ආගම උගන්වන්නේ නැති නිසාය. ඒ වගේම තමයි මුස්ලිම් පුද්ගලයෙකු ඉස්ලාම් ආගම ඉගෙන ගැනීමට නම් මුස්ලිම් පල්ලියේ තියෙන මද්රසා එකට යා යුතුයි. මද්රසා කියන්නේ අරාබි භාෂාවෙන් පිරිවෙණ කියන තේරුම. තමන්ට කැමති ආගමක් ඇදහීම, පිළිපැදීම ලෝක ප්‍රජාතන්තවාදී නීතියක්.  මෙහිදී බොහෝ දෙනෙකුට ප්‍රශ්නය තිබෙන්නේ ෂරියා නීතිය සහ ජිහාද් කියන සංකල්පය එහිදී උගන්වන නිසා. ෂරියා සහ ජිහාද් කියන්නේ ඇත්තටම කුමක්ද කියලා අපි වෙනම පොස්ට් 2ක් වෙන වෙනම මෙම වෙබ් අඩවිය තුළින් පැහැදිළි කර තිබෙනවා.

මෙහිදී තවත් කරුණක් අප මතක් කිරීමට කැමති. අද ශි ලංකාවේ අති ප්‍රසිද්ධ පාසල් කිහිපයක් ආගමික කෝණයෙන් ක්‍රියා කරන අයුරු දක්නට පුළුවන්. කොළඹ සහ මහ නුවර ගත් කල එහි වූ ප්‍රසිද්ධ පාසල් බෞද්ධයින්ට පමණක් තම පාසල ඉගැනීම සඳහා කටයුතු කරන අයුරු දක්නන ලැබේ. සදාචාරාත්මක වශයෙන් පාසල් වල නම් ප්‍රසිද්ධ කිරීමට අප කැමැත්ත දක්වන්නේ නැති නමුත් ඔබට ලෙහෙසියන් සොයා ගත හැක. එපමණක් නොව සමහර ප්‍රසිද්ධ පෞද්ගලික ව්‍යාපාර ආයතන පවා මෙලෙස ආගම් කෝණයකින් කටයුතු කිරීම දක්නට හැක. එකම රටක එකම නීතියක් විය යුතු නම් මෙලෙස ආගම් කෝණයකින් කටයුතු කරන ආකාරය පිළිබඳව අප මෙහිදී ජාතිවාදය වපුරන පුද්ගලයන්, සංගම් වලින් හා සමහර ප්‍රසිද්ධ ජන මාද්‍යන් වලින් විමසමු.

ඕනෑම රටක, ජාතියක , ආගමක, නීතිය පිළිපදින්නන් හා නොපිලිපදින්නන් සිටිනවා. මෙය හුදෙක් නීතිමය කෝණයකින් බැලිය යුතු අතර ආගමික කෝණයකින් බැලීම නුසුදුය. අද සමහරක් ජන මාධ්‍යන් පවා යම් අපරාධයක් මුස්ලිම් වරයෙකු කරන්නේ නම් එයට විශේෂ හුවා දැක්වීමක් කිරීම කනගාටුවට කරුණක්. ඉස්ලාම් ආගම පිලිබඳ යමක් දැන ගැනීමට නම් කුරාණය සහ හදීස් ග්‍රන්ථ පරිශීලණය කරන ලෙසද එසේ නොහැකි නම් ඒ සඳහා විද්වත් මණ්ඩලයක් වන ශ්‍රී ලංකා ජමියතුල් උලමා සභාවෙන් විමසන ලෙසද අප කාරුණිකව මාධ්‍ය වලින් ඉල්ලා සිටිනවා. එසේ නැතිව මුස්ලිම් දේශපාලකයින්ගෙන් හෝ සාමාන්‍යය පුද්ගලයන්ගෙන් අදහස් ගෙන අනවශ්‍ය මුස්ලීම් භීතිකාවක් ඇති කිරීමට සමහරක් මාධ්‍යන් දක්වන අසික්කිත උත්සාහයන් අප තරයේ හෙළා දකිමු.

මෙම ලිපිය අවසානයට පෙර වැදගත් දෙයක් මතක් කරමු. එනම් ෂරියා නීතිය කෙනෙකුට බලෙන් පෙවීම තහනම්. ඕනෑම මනුස්සයෙකුට ඕනෑම සංස්කෘතියක් , ඕනෑම ආගමක් පිළිපැදීම මුළික අයිතිවාසිකමක්. ඉස්ලාමයද එම මතය දරනවා. ඕනෑම නීතියක් යමෙකුට බලෙන් පෙවීමට වඩා එම නීතිය පිළිපැදීමෙන් තමන්ට හා සමාජයට ඇතිවන ප්‍රතිලාභය මනාව පැහැදිළි කිරීමෙන් පමණක් සිදු කර යුතුය යන්න ඉස්ලාමය පෙන්වා දෙනවා. සමහර මුස්ලිම් පව්ල් තුළින්ද මෙම වරද සිදු වෙනවා. තම දරුවන්ට ෂරියා නීතියේ ඇති ප්‍රතිලාභ මනාව පැහැදිළි නොකර හුදෙක් මෙය කරන්න, මෙය නොකරන්න කියා බල කිරීම පමණක් සිදු කරන නිසා එම දරුවන් පසු කාලයක වැරදි මාර්ග වලට පෙළඹීමේ ප්‍රවනතාවයක් ඇති වෙනවා.

දහම සම්බන්ධව බල කිරීමක් නොමැත”.(අල් කුරාණය 2:256)

“සත්ත්‍යය නුඹගේ පරමාධිපතිගෙන්  යැයි නබිවරය  නුඹ පවසව්. එහෙයින් කැමති අයෙකු විශ්වාස කරත්වා! කැමති අයෙකු ප්‍රතික්ෂේප කරත්වා!” (අල් කුරාණය  18:29)

එබැවින් නබිවරය,නුඹ උපදෙස් දෙවු, සැබවින්ම නුඹ හුදෙක් උපදෙස් දෙන්නෙකු පමණය. ඔවුන් කෙරෙහි නුඹ බල කරන්නෙකු නොවේ.( අල් කුරාණය 88:21-22)

මුස්ලිම් අපිටද අවශ්‍ය වන්නේ සියලු ආගම් වලට එකම නීතියක් හා එකම ප්‍රජාතන්තවාදයකි.

100% LikesVS
0% Dislikes

Share කරන්න